කොළඹ අවට කඳවුරු තුළ රාජකාරී කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන්ට සිය දෛනික සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තම පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත යාමට අවසර ලබාදෙන ලෙස එම සාමාජිකයෝ ඉල්ලා සිටිති.  මේ වනවිට කඳවුරුවල සිට කිල්ලෝමීටර් 1-2ත් අතර දුරකින් සිටින  සාමාජිකයන් හා කාන්තා නිලධාරිනියන්ට සිය නිවෙස් වෙත ගොස් නැවත සේවයට පැමිණීමට අවස්ථාව ලබාදී ඇතත්, අනෙකුත් නිවසේ සිට රාජකාරියට පැමිණීමට අවසරය ලබා ඇති සෙසු සාමාජිකයන්ට එම අවස්ථාව ලබා නොදෙන බව විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ සඳහන් කරති.


 කෝවිඩ් -19වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඉහළ නිලයන් දැනුම්දී තිබුණද,  බළකායේ කොළඹ ප්‍රදේශයේ රාජකාරී  කරන රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිය  දෛනික සේවා කාලය අවසන් කිරීමෙන්  අනතුරුව නිවෙස් වෙත යාම සිදුකරන බවද ඔවුහු පවසති. එසේ කෝවිඩ් වසංගත තත්ත්වය   හේතුවෙන් නිවසේ සිට රාජකාරී පැමිණීමට අවසර ලබා සිටින සාමාජිකයන් හට නිවෙස් වෙත යාමට අවස්ථාව නොමැති බවට සඳහන් කළද, තම පෞද්ගලික වාහන හෝ යතුරු පැදී භාවිත කරමින් නිවෙස් වෙත යාමට අවස්ථාව ලබා දෙන්නේ නම්, සාමාජිකයන්ට බාහිර සමාජය සමග  අවම වශයෙන් ගැටෙමින් කටයුතු කිරීමට අවස්ථාව ඇති බවත් ඔවුහු පවසති.

 කෝවිඩ් වසංගතය මැඩපැවැත්වීම සඳහා සෘජුව දායකත්වය ලබාදෙන  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ත්‍රිවිධ හමුදා හා   සාමාන්‍ය පොලිස් සේවයේ සාමාජිකයන් නිවෙස්වල සිට සේවයට පැමිණීම  සිදුකරන බැවින් කොළඹ ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකාය කඳවුරුවල රාජකාරී කරන නිවසේ සිට රාජකාරී  පැමිණීමට අවසර ලබා ඇති  නිලධාරීන්ටද මෙම අවස්ථාව නොලැබීම හේතුවෙන් බොහෝ නිලධාරීන් දැඩි කලකිරීමකට පත්ව ඇති බවද එම සාමාජිකයෝ පවසති.   කෝවිඩ් ව්‍යාප්තිය සමග විශේෂ කාර්ය  බළකායේ සියලු සාමාජිකයන් හට පොදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවී විවිධ තනතුරුවලට විවිධ අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අසාධාරණයට ලක්ව ඇති සාමාජිකයන් සාමාන්‍ය පොලිස් සේවයට ස්ථාන මාරුවීම් ලබා ගැනීමට ලිපි ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.