වසර හැත්තෑ හතරක සිනමා වංශ කතාවේ නව පරිච්ඡේදයක් එක් කරලමින් චිත්‍රපට සංස්ථාවේ නවීකරණය කරන ලද නව සංස්කරණ මැදිරිය, පසු නිෂ්පාදන ඒකකය, ප්‍රවීණ සිනමාකරු ටයිටස් තොටවත්තයන්ගේ නමින් 21 වනදා කැලණිය දළුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේදී විවෘත කෙරිණි.



දේශීය සිනමාවට 74 වසරක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 49ක් සපිරීමේ උත්කර්ෂවත් අවස්ථාවට සමගාමීව මෙම සංස්කරණ මැදිරි සංකීර්ණය  විවෘතවූයේ ටයිටස් තොටවත්තයන්ගේ පුතු වන විනිසුරු දමිත් තොටවත්ත, චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත්, සිනමාවේදින් කලාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙනි.


1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත වීමෙන් ඇරඹි මෙරට සිනමා වංශ කතාවේ මෙම නව සන්ධිස්ථානය නූතන නවීකරණය වීම අතිශය වැදගත් වේ. පටලපට සිනමාවේ දීප්තිමත් පසු නිෂ්පාදන ඒකකය ලෙස පැවැති දළුගම සරසවි චිත්‍රාගාරය නූතන ඩිජිටල් යුගයට පරිවර්තනය වීම සහ නවක සිනමාකරුවන්ට අලුත් බලාපොරොත්තු ගෙනදීම පැවසිය යුත්තකි.

මේ වන විට 7.1 Dolby Digital තාක්ෂණයට අනුව නවීකරණය කළ අංගසම්පූර්ණ ශබ්දාගාරය සමග සෙසු නිපයුම් සේවාවන් නව මුහුණුවරකින් හා කාලීන තත්වාරෝපිතයන්ට අනුව මෙය සකස් වීම කැපී පෙනෙන්නකි. මෙම නව AVID සංස්කරණ මැදිරිය අරේඛීය සංස්කරණයට (Non linier editing) අනුකූලව සියලු පහසුකම් සපිරිව නවීකරණය කොට තිබේ.

ප්‍රවීණ සිනමාකරු ටයිටස් තොටවත්තයන් දේශීය සිනමාවට සිදු කළ අනුපමේය සේවාව අගයමින් ඔහුගේ නමින් මෙම සංස්කරණ ඒකකය විවෘත වීම වැදගත් වේ. මෙරට සිනමාවේ එළිමහන් කැමරාගත වූ ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිගේ රේඛාව (1956) චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළ තොටවත්තයන් සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට, චන්ඩියා, පරසතුමල්, හන්තානේ කතාව, හාරලක්සේ, අතීතයෙන් කතාවක්, සිකුරුලියා, මරුවා සමග වාසේ වැනි චිත්‍රපට ගනණාවකම සංස්කරණ ශිල්පියා ලෙසත් ඇතැම් චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා ලෙසත් මාහැගි මෙහෙවරක් ඉටු කළේය.

චණ්ඩියා, කව්ද හරි, හාරලක්සේ, සාගරිකා, හදයා වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කළ ප්‍රතිභාව මෙරට සිනමාවේ තොටවත්ත සලකුණ සනිටුහන් කළ නිර්මාණ බව ප්‍රේක්ෂකයා දනී.


- නිශාන්ත පීරිස් -