කොරෝනා වසංගතය නිසා ජන ජීවිතයට ඇති කර තිබෙන පීඩාව අපරිමිතය.නමුත් මේ අමාරු කාලයේ ඇතැම් සංස්කෘතික අංගයන් අමතක නොකරගෙන අමාරුවෙන් හෝ ජීවිත ගෙන ආ යුතුය.
ඇඹිලිපිටිය යෝධගම නවනගරයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉකුත් බදාදා(20) උදෑසන පුංචි සාදයක් පැවැත්විණි. සාදයක් යැයි කියුවද එය චාරිත්‍රානුකූල උත්සවයක් විය.
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින 13 හැවිරිදි දියණියක ඉකුත් 16 වැනිදා වැඩිවියට පැමිණියාය.

ඇය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාමරයක නිරෝධායනය වෙමින් සිටියේ සිය මව සහ පවුලේ සාමාජිකයින්ද සමගය.

මවගේ පියා (සීයා) අක්කා, නංගී සහ එකම මල්ලී ද එහි නිරෝධායනය වෙමින් සිටියහ. තම දෙවැනි දියණිය මල්වර වූ පුවත දැනගත් මව ඒ බව වහාම කොවිඩ් ප්‍රතිකාරය මධ්‍යස්ථානයේ හෙද නිලධාරිනියට දැන්වූවාය.

හෙද නිලධාරිනියගේ ආරංචිය කනවැකුණු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී දියණිය වෙනුවෙන් සාදයක් සූදානම් කළහ.

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතුවලට හිතෛෂීව උපකාර කරන ගම්වැසියන් කීපදෙනකුගේ ආධාර ඇතිව දැරිය වෙනුවෙන් මල්වර නැකතක්ද සාදවා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

සුබ මොහොත උදාවී තිබුණේ පෙරේදා (20) පෙරවරුවේය. දියණිය නෑවීම, සුබ මොහොතින් නිවසට ගැනීම, පොල්තෙල් පහන් දල්වා දෙවියන් බුදුන් සිහිකිරීම ආදී සියලුම චාරිත්‍ර එදින සූදානම් කර තිබිණි.

හෙද හෙදියන් හා කාර්ය මණ්ඩලයේ කීපදෙනකුම සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් සැරසී සියල්ල අකුරටම ඉටු කළේය. දිය නාගත් දියණිය සිනාමුසු මුහුණින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේම සිය කාමරයට පැමිණියාය. චාරිත්‍රානුකූල මවට, සීයාට බුලත් හුරුළු දී වැඳ ආශිර්වාද ලබා ගත්තාය. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිලධාරින් කීප දෙනකුටද බුලත්හුරුළු දී ආශිර්වාද ලබා ගැනීමට ද දියණිය අමතක නොකළාය. ඉන් අනතුරුව පැවැතියේ පුංචි සාදයකි. සිය පවුලේ සාමාජිකයන් නිරෝධායනය වෙමින් සිටින කාමරයට යාබද පුංචි ඉඩකඩ ඒ සඳහා වෙන්කර තිබිණි. දියණිය මව සහ පවුලේ සාමාජිකයින් පුදුමයට පත්කරමින් එහි කැවිලි මේසයක්ද සූදානම්ව තිබිණි. කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි, කේක් සහ තවත් රසකැවිලි පුංචි කෑම මේසය හැඩගන්වා තිබිණි.

සියලු දෙනාම කැවිලි කා සතුටු වන අතරේ දියණිය තවත්වරක් විස්මයට පත්කරමින් හෙද නිලධාරිනිය ඇතුළු පිරිස ඇයට තෑගි බෝගද පිරිනැමූහ.


කරාබු ජෝඩුවක්, රන්මාලයක්, පෙන්ඩනයක්, අලුත්ම අලුත් ඇඳුම් කීපයක්, පාසල් පොත්, බෑග් සහ තවත් තෑගි බොහොමයක්ද මේ අතර විය. චාරිත්‍රානුකූල උත්සවය පැයකට සීමා වූයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින තවත් පිරිසක් දුරස්ථව සිටිමින් උත්සවයට එක්වූහ.

මේ පිළිබඳව කළ විමසුමකදී ඇඹිලිපිටිය යෝධගම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙද නිලධාරි වී.එම්.ජේ. ප්‍රසන්න මහතා මෙසේ කීවේය.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලෙන් තමයි අපේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පාලනය වෙන්නේ. ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.බී.ඩී.එස්. රාමචන්ද්‍ර මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. දියණියගේ පවුලේ සාමාජිකයින් මුලින්ම ප්‍රතිකාර ලබමින් සිටියේ කහවත්තේ. එම පවුලේ අය පදිංචිව ඉන්නෙත් කහවත්තේ. මව කොවිඩ් ආසාදිතයකු නිසා පවුලේ අනෙක් අයත් කහවත්ත මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

සීයා කෝවිඩ් ආසාදිතයකු නිසා ඔහු ඇඹිලිපිටිය අපේ මධ්‍යස්ථානයේ හිටියා. සීයාගේ වයස අවුරුදු 70ක් පමණ වෙනවා. සීයාට වයස නිසා ඔහු දුන් තොරතුරු අනුව අපි කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයට කතා කරලා ඒ අයගේ එකඟතාව මත මේ පවුල අපේ මධ්‍යස්ථානයට ගෙන්වා ගත්තා. ඉන් පස්සේ සීයත් එක්කම එකම කාමරයක තිබ්බා.

ඒ අතරෙදි තමයි මේ සිදුවීම වුණේ. දියණියගේ ඥාතියෙක් කරබු දෙකක් ගන්න මුදල් එවලා තිබුණා. අනෙක් සියලුම තෑගි අපේ මධ්‍යස්ථානයෙන් සහ ගම්වාසීන් කීප දෙනෙකුගෙන් ලැබුණා. අපට අවශ්‍ය වුණේ මේ පවුලේ උදවිය සතුටු කරන්න. ඒක පුළුවන් ආකාරයට අපි කළා යැයිද කීය.


 - රංජන් කස්තුරි -