මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ කාලවකවානුවේදී කඩු 6000ක් පමණ මෙරටට ආනයනය ලදැයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පෙනී සිට දැනුම්දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ප්‍රධානීන්ට 18දා නියම කළේය.
මෙම පෙත්සම කැඳවන ලබන මාර්තු මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට එම කරුණු දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියම කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ නිශාන්ත ද සොයිසා, රේගු අධ්යක්ෂ ජනරාල් නමැත්තන් නම් කොට ඇත.
මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6,000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කීය. ඉන් කඩු 600ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මියගිය මොහොමඩ් ඉන්සාෆ් නමැත්තාගේ අවශ්‍යතාවකට අනුව මොහොමඩ් සත්තාර් නමැත්තෙකු විසින් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු හෙළිව ඇතැයිද කී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊට අමතරව තවත් කඩු 5,400ක් පමණ මේ වනවිට රට තුළ නිදැල්ලේ සැරිසරමින් ඇති බවත්, මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත් පැවසීය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රශ්නයක් මතු කරමින් මෙම සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් තවදුරටත් මෙම පෙත්සම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් ඇත්දැයි විමසීය. ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා ඊට පිළිතුරු දෙමින් වගඋත්තරකරුවන් අධිකරණය හමුවට පැමිණ මෙම සිද්ධිය පිළිබඳ විධිමත් හා විශ්වාසදායක පරික්ෂණයක් සිදුකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් තමන් එම නඩුකරය සමථයකට පත්කර ගැනීමට ඇති හැකියාව සලකා බලන්නේ යැයි පැවසීය. පෙත්සම මාර්තු මස 05 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
-බුද්ධිමාල් රුබේරු-
0 Comments