තම නවෝත්පාදන ඉදිරිපත් කිරීමක් ලෙස හඳුන්වාදුන් සතෙකුගේ මොළය තුළ චිපයක් සවි කිරීමේ Neuralink වැඩසටහන ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරදී ඇතැයි සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන ටෙස්ලා සහ  ස්පේස් එක්ස් යන සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසයි.  ඒ අනුව සිය විද්‍යාගාරයක් තුළදී මෙලෙස චිපයක් මොළයේ සවි කළ වදුරෙකු පිළිබදව අත්හදා බලමින් සිටින බවත්, මේ මොහොත වනවිට එම වදුරා පරිගණක ක්‍රීඩා කරමින් සිටින බවත් මස්ක් සිය පරිශීලකයන් වෙත පසුගියදා අනාවරණය කර තිබේ අද වනවිට ලොව අංක එකේ ධනවතාද වන මස්ක්ගේ අලුත්ම ස්ටාර්ට්අප් ව්‍යාපාරය ලෙසද මෙම Neuralink වැඩසටහන හැඳින්වෙයි.



"අද අප සතුව ඉන්නවා ඉතාමත් කුඩා චිපයක් මොළයේ සවි කළ වදුරෙක්. ඒ වදුරා තමන්ගේ මනසින් දැන් වීඩියෝ ක්‍රීඩා කරනවා. ඔබට දැකගන්නට බැහැ මේ චිපය කොහෙද සවි කරලා තියෙන්නේ කියලා. මේ වදුරා ඉතාමත් සතුටින් ඉන්නවා.” මස්ක් පවසා ඇත.   ඌරන් කිහිප දෙනෙකුගේ මොළය තුළ මෙවැනි කුඩා චිපයක් සවි කරමින් මස්ක් පසුගිය වසරේදී මෙම Neuralink වැඩසටහන ආරම්භ කළේය. මෙලෙස චිපය සවි කර ඇති වදුරාගේ වීඩියෝවක් ලබන මාසයේදී පමණ නිකුත් වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා සිටියි.