හදවත් සැත්කමක් කරගැනීම සදහා මුදල් නැති පවුලක් ස්පිකරයක් බැඳගෙන පාරේ සල්ලි සොයන ආකාරයෙන් වත්මන් ආණ්ඩුවට කොවිඩ් එන්නත විදීම සදහා මුදල් සෙවීමට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී පැවසීය. දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඉකුත් දා ගාල්ල උනවටුන  ප්‍රදේශයේ දී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.





අපි හිතනවා කොරෝනා වසංගතය නතර කළ හැකි වන්නේ එනතකින්  පමණයි. එහෙම නැතුව කාලි අම්මලාගේ පැණි බෙදෙමින් නෙමෙයි.  විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගම්වල කාට හරි හදවතක් සැත්කමකට භාජනය කර ගන්න ඕනෑ වුණාම සල්ලි නැත්නම් ස්පීකරයක් බැඳගෙන හදවත් සැත්කමක් කර ගන්න තියෙනවා ආධාරයක් දෙන්න කියලා පොළවල් ගානේ ඇවිදිනවා.  අද අපේ රටට සිදු වෙලා තියෙන්නෙත් ඒකයි. රටේ කොවිඩ් වසංගතය පැතිරිලා තිබෙනවා. අපට ගෙන්න සල්ලි නෑ ඉන්දියාවෙන් කීයක් හරි ආධාරයක් ඉල්ලනවා, චීනෙන් තවත් ආධාරයක් ඉල්ලනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාරයක් ඉල්ලනවා රුසියාවෙන් ආධාරයක් ඉල්ලනවා.  කොළඹ වරාය අපේ රටේ ආර්ථිකයේ හදවත. මේ හදවත් කොටස් පහුගිය පැවැති පාලනයන් එකින් එක විකුණලා දැම්මා. ඒකෙ එක පර්යන්තයක්  චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් වික්කා.


දකුණු කොළඹ වරායේ දකුණු පර්යන්තය චීන සමාගමකට විකුණා දැමුවා. දැනට ජය බහලු පර්යන්තය විතරයි වරාය අධිකාරිය සතුව තියෙන්නේ.  ඊළඟ දිග නැව් ගේන්න පුළුවන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තියෙන එකම පර්යන්තය තමයි නැගෙනහිර පර්යන්තය. නැගෙනහිර පර්යන්තය අහිමි වෙනවා කියලා කියන්නේ අපට කොළඹ වරාය අහිමි වෙන එකයි. ආණ්ඩුව බදු දෙනවා කියමින් සියයට හතළිස් නවයක් කියමින් ආයෝජන කැඳවනවා කියමින් මේ කරන්නේ මුළාවක්. මෙය මුළුමනින්ම ඉන්දියානු අදානි සමාගම සඳහා පැවරීමේ උත්සාහයක්.



ආණ්ඩුවක් බලයට පත් වෙන්නේ අවුරුදු පහකට. ජනතාව ගෝඨාභය රාජපක්ෂටත් ආණ්ඩුවටත් භාරකාරීත්වය පිළිබඳ බලයක් ලබා දීල තියනවා. ආඩුවට සින්නක්කර අයිතියක් මේ රට පිළිබඳව ලබා දීලා නෑ.  ඒ නිසා මේ ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා දීම සඳහා මේ දරන ප්‍රයත්නය මුළුමනින්ම පරාජයට පත් කළ යුතු යි. ඒ වගේම වරාය වෘත්තීය සමිති ව්‍යාපාර මෙය පරාජය කිරීමට දරන ප්‍රයත්නයට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ පැත්තෙන් ලබා දිය හැකි සියලුම සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මේ රටට ආදරය කරන මේ රටේ ජාතික සම්පත්වලට ආදරේ කරන උපන් නූපන් පරම්පරාවන්ට ආදරය කරන මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගන්න ඕනැයි කියලා ප්‍රාර්ථනා කරන සෑම පුරවැසියකුම ඉදිරියට ආ යුතුයි. අපට කොළඹ වරායේ ඉතිරිවෙලා තියන එකම පර්යන්තය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.


-ජේ.කේ.එල්.චාමින්ද-