anuradapura dewanam piyatissa

අනුරාධපුරය පූජා භූමියේ රජකම් කළ දේවානම්පියතිස්ස මහ රජතුමන්ගේ හෝ දුටුගැමුණු මහ රජතුමන්ගේ රජ
සමයට දිවෙන බවට සැක කරන ඓතිහාසික වැදගත්කමක් ඇති පුරාවිද්‍යාවේ ඇස නොගැටුණු නටබුන් සහිත
ප්‍රදේශයක් සොයා ගැනීමට අනුරාධපුරය පුරාවිද්‍යා ආරක්‍ෂණ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන්ට
හැකිවී තිබේ.
 


අනුරාධපුරය ජය ශ්‍රී  මහ බෝධීන් වහන්සේ අබියස ආවතේවකරුවකු වන කපුමහතකු විසින් මෙම භූමියෙන්
කොටසක් වගාවක් සඳහා බැකෝවක් යොදා වළවල් හාරා වනසා දමා තිබේ. කළු ගලින් නෙළන ලද බුදු
පිළිම, විවිධ හැඩයන්ගෙන් යුතු විශාල ගල්කණු හා භුමිය පුරාම ඉපැරැණි ගඩොල් විශාල ලෙස දක්නට ලැබේ.

අවුරුදු දෙදහසකට එහා ගිය අතීතයක් ඇති බවට සැක කළ හැකි යැයි පොලිසිය පවසන අනුරාධපුර නගරයේ
සිට කිලෝමීටර් 10-12ක පමණ දුරින් පිහිටි විහාරතිරප්පනය ප්‍රදේශයේ ඓතිහාසික පුරාවිද්‍යා නටබුන්
සහිත ස්ථානය පිහිටා තිබෙන අතර මීට පෙර කිසිදු අවස්ථාවක එම ප්‍රදේශයේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ
ඇස ගැටී නොමැත.



පුරාවිද්‍යා නටබුන් ඇති ස්ථානයේ කළුගලින් නෙළන ලද සිරස හා අත්පා බිඳීගිය අඩි හයක් පමණ උස බුද්ධ
ප්‍රතිමාවක් සොයා ගැනීමට හැකිවී තිබේ. ඒ ආසන්නයේම නිදන් හොරුන් කඩා බිඳ දැමූ බවට සැක කළ
හැකි කුහරයක් සහිත විශාල කළුගල් රවුම් කිහිපයක්ද දක්නට ලැබේ.

මෙම ස්ථානය මීට පෙර කිසිදු පුරාවිද්‍යා නිලධාරියකුගේ ඇසගැටී නැති අතර මෙම භූමිය පුරාවිද්‍යා
බිමක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැත. පුරාවිද්‍යා නිලධාරීහු එම බිම කුමන යුගයකට අයත්ද
යන්න අනාවරණය කර ගැනීමට පරීක්‍ෂණ පවත්වති.

භූමිය ඩෝසරයක් යොදා වැනසූ තිදෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


අනුරාධපුරය - මහේෂ් විජේසූරිය