ආසියාවට  අයත් ලොව ප්‍රධාන බෞද්ධ රටවල් වන්නේ කාම්බෝජය, තායිලන්තය, භූතානය, ශ්‍රී ලංකාව සහ මියන්මාරයයි. මියන්මාරය අතීන්තයේ හැඳින්වූයේ බුරුමය යනුවෙනි. ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ  බුරුමය යන නමිනි.  මියන්මාරය අයත් වන්නේ ගිනිකොණදිග ආසියාවටය.  මියන්මාරයේ බෞද්ධයන් සියයට 88 කි. ඊට අමතරව විවිධ ජනවර්ග 100 කට වඩා වැඩි පිරිසකට මියන්මාරය නිජබිම වෙයි. ඉන්දියාවට, බංග්ලාදේශයට, චීනයට, ලාඕසයට හා තායිලන්තයට මියන්මාරය මායිම් වී තිබේ. මියන්මාරයේ අගනුවර රුංගුන් විය. පසු එය යැංගොන් විය. අද යැංගොන් මියන්මාරයේ ප්‍රධාන විශාලතම නගරයයි. මියන්මාරයේ අගනුවර නායිපායිදේව්ය. මියන්මාරයේ ජනගහනය මිලියන 54 කි.

ශ්‍රී ලංකාවේ අපට මියන්මාරය එසේත් නැතිනම් බුරුමය ආගන්තුක නොවෙයි. බුරුම ශ්‍රී ලංකා සබඳතා වසර දහස් ගණනක් ඈතට දිව යන බව මහා වංශයේ සඳහන්ය. මියන්මාරය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ද පැවැතිනි. බටහිර වැසියන් මියන්මාරය හඳුනන්නේ අවුන් සාන් සූ කී නිසා යැයි කීවොත් එය නිවැරැදිය. සූ කී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කළ තැනැත්තිය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නැගීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසුවුණු, ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවාය. පෙරේදා (1) මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. සූ කී හමුදා අත්අඩංගුවට පත් විය. සූ කී පමණක්  නොව, ඇය නායකත්වය දරන ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය' පක්ෂයේ නායකයන්, රාජ්‍ය සේවකයන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු ද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මියන්මාරය යළි හමුදා පාලනයට නතු විය.


බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ මියන්මාරයට නිදහස හිමිවූයේ 1948 දීය. 1962 සහ 1988 දී  වසර 50 කට වැඩි කාලයක් තිස්සේ මියන්මාරය හමුදා පාලනය යටතේ පැවැතිණි. හමුදා පාලකයන් අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට පත් කළේ 1989 වසරේ දීය. ඒ, ඇය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය" ට නායකත්වය දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගු බැවිනි. එදා පැවැති මහ මැතිවරණයෙන් සූ කී ප්‍රමුඛ ඇගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය' ලැබූ විශිෂ්ට ජය හමුදා පාලකයෝ ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු 1989 වසරේ සිට 2010 තෙක් සූ කී නිවාස අඩස්සියේ පසුවූවාය. සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම්  ලැබුවේ, නිවාස අඩස්සියේ
පසුවෙද්දීය. ඒ, 1991 වසරේදීය.


මිට වසර 10 කට පෙර 2011 දී, මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හමුදාව මැදිහත් විය. 2015 දී මහ මැතිවරණය පැවැත්විණි. සූ කී සහ ඇගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය' බලයට ආවේ එම මැතිවරණයෙනි. මියන්මාර හමුදාව සකස් කර ඇති එරට ව්‍යවස්ථාවට අනුව, විදේශිකයකු සමඟ විවාහ වන තැනැත්තකුට රටේ ජනපති ධුරයට පත් විය නොහැකිය. හමුදාව  මෙම කොන්දේසිය ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ සූ කී වෙනුවෙන් විශේෂයෙනි. සූ කී  විවාහ වී සිටියේ කියුබාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ජාතික මයිකල් ඒරිස් ය. 1999 දී මයිකල් ඒරිස් මියගියේය. සූ කීට දරු දෙදෙනකු සිටින අතර ඔවුහු බ්‍රිතාන්‍ය යේ ජීවත් වෙති.


සූ කී ප්‍රමුඛ ඇගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය’ 2015 වසරේ දී මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබුවත්, මියන්මාර ව්‍යවස්ථාවට අනුව සූ කී ට ජනාධිපති ධුරයට පත් විය නොහැකි විය. ඇය නිලට නොවන නායිකාව බවට පත්විය. සූ කී වෙනුවට, ජනපති ධුරයට පත් කෙරුණේ ඇගේ හිතවතකු වන හිටින් කෝව්ය. කෝව් නාමික  ජනාධිපතිවරයකු විය.   2015 දී හමුදා පාලකයන්, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දුන්නේ හමුදාවට වාසිදායක කොන්දේසි යටතේය. මියන්මාර හමුදාව එරට ව්‍යවස්ථාව සකසා ඇත්තේ, හමුදාවට බලය රඳවා ගැනීමට හැකි  ලෙසය. පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක් සහ රටේ බලවත්ම අමාත්‍යාංශ පාලනය කිරීමේ හැකියාව හමුදාවට ලබා ගෙන තිබුණි.


2015 සිට 2020 තෙක් කාලයේ අවුන් සාන් සූ කී සහ ඇගේ රජය අභියෝගවලට මුහුණ දුන්නේය. 2016 සිට 2017 දක්වා කාලයේ මියන්මාරය යළි ලෝකයේ අවධානයට ලක්විය. ඒ, රොහින්ග්‍යා මුස්ලිම්වරුන් නිසාය. රොහින්ග්‍යා යනු මියන්මාරයේ රකීන් පළාතේ වෙසෙන මුස්ලිම් වැසියන්ය. මොවුහු රකීන් පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලති.  මියන්මාර හමුදාව හෝ බහුතර බෞද්ධයන් හෝ ඊට කැමැත්ත පළ කරන්නේ නැත. රොහින්‍යා මුස්ලිම්වරුන් චෝදනා කරන්න වූයේ මියන්මාර හමුදාවෙන් ඔවුන්ට කෙණෙහිලිකම් එල්ල වන බවය. රොහින්ග්‍යා වැසියන් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිවල සහාය ලබන බවට හමුදාව  චෝදනා කරයි.


අවසානයේ, රොහින්ග්‍යා වැසියන් දහස් ගණනින් ගම්බිම් අතහැර බංග්ලාදේශයට පලා ගිය අතර, ඔවුහු බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල අදත් ජීවත් වෙති. රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව අපරාධ කළැයි මියන්මාර රජයට බටහිර රටවලින් චෝදනා එල්ල විය. ජාත්‍යන්තර නඩු විභාග පවා පැවැත්විණි. සූ කීට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය පවා ආපසු ගන්න නොබෙල් කමිටුව පවා තර්ජනය කරන්න විය. ‘කොවිඩ් 19' වසංගයෙන් ද මියන්මාරය බැටකෑමට පටන් ගත්තේය. ඉන්දියා ආගමැති මෝදිගේ
"වැක්සින් මෛත්‍රී" වැඩසටහන යටතේ මියන්මාරයට ද ‘කොවිෂීල්ඩ් එන්නත් ලැබුණි. එම එන්නත් මේ වනවිටත්, සෞඛ්‍ය අංශ සාමාජිකයන්ටත්, හමුදා සාමාජිකයන්ටත් ලැබී අවසන්ය. පසුගිය 2020 නොවැම්බර් 8 වැනිදා ‘කොවිඩ් 19' වසංගතය හමුවේ මියන්මාර මහ මැතිවරණය  පැවැත්විණි.


සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්දය  ප්‍රකාශ කිරීමට මියන්මාර වැසියන් උදෑසනින්  ඡන්ද පොළට එරොක් වූයේ මහත්  බලාපොරොත්තු ඇතිවය. ඒ, පළමු වරට 2015 දී  දිනූ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යෑමටය. ‘හමුදා සිවිල් පාලනය” තව දුරටත් පවත්වාගෙන යෑමටය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණු බව මැතිවරණ කොමිසම පැවැසුවේය. අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සියයට 60 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් බව මියන්මාර මැතිවරණ කොමිසම නිවේදනය  කරද්දී, හමුදාවට සහාය දක්වන විපක්ෂ  දේශපාලන කණ්ඩායම් ඊට තදින් විරුද්ධ විය.  මැතිවරණය දුෂිත බවත්, හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවත් විපක්ෂ කණ්ඩායම් චෝදනා  කරන්න විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ හමුදාව චෝදනා කරන්න වූයේ මිලියන 10 ක හොර ඡන්ද දැමීමක් සිදුවී සිදුවුණු බවය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි මියන්මාර හමුදාව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි නමුත්, ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණු බව පැවැසෙයි.


ඒ අනුව, විපක්ෂ ක්‍රියාකාරීහු මියන්මාරයේ ප්‍රධාන නගර රැසක විරෝධතා රැලි පවත්වන්න විය. භික්ෂූන් වහන්සේලා පවා ඊට එක් වූහ. මැතිවරණය දූෂිත බවත්, ඒ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියා මාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බවත් මියන්මාර හමුදාපති ජනරාල් මිංග් අවුන්ග් ලැයිංග් අවස්ථා කීපයකදී අනතුරු ඇඟවීම් කළේය.  මහ මැතිවරණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව පෙරේදා (1) පළමු වරට රැස්වීමට නියමිතව තිබුණි. හමුදාව වහා ක්‍රියාත්මක වී, මැතිවරණය දූෂිත යැයි චෝදනා කරමින් හමුදාව සු කී ඇතුළු ඇගේ පක්ෂයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඊට පෙරය.


රටේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය වසරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන බව ජනාධිපති ධුරයට බාරගත් මියින්ත් පවසා තිබේ. අන්තර්ජාල සේවා අක්‍රිය කර දැමීමට ද හමුදාව අණ කළේය. මියන්මාරයේ රාජ්‍ය නායකයා ලෙස සේනාධිනායක මින් අවුන්ග් ලැයිංග් පත්විය.

(ලුසිත ජයමාන්න)