atm-dankotuwa-temple

දංකොටුව ඇටියාවල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ගේ බැංකු කාඩ්පත සොරකම් කර ගිණුමේ තිබූ රුපියල් තුන්ලක්ෂ හැට එක්දහසක මුදලක් සොරකම් කළ බව කියන එම විහාරස්ථානයේ වැඩි සිටි සාමණේර හිමිනමක් සහ අසල්වැසි තරුණයකු එම මුදල් ද සමග අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලීසිය කියයි.  එම 19 හැවිරිදි හිමි නම සහ  විහාරස්ථානය ආසන්නයේ නිවසක පදිංචි 28 හැවිරිදි විවාහක තරුණයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.




විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ  පොලීසිය කොටුව නගරයේ පිහිටි බැංකුවල ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරිමේදී එක් පොද්ගලික බැංකුවකට දින දෙකක් යතුරුපැදියකින් පැමිණ මුදල් ලබාගත් තරුණයෙකුට අයත් යතුරුපැදිය පිළිබද සැක සිතී ඒ ඔස්සේ පරික්ෂණ ආරම්භ  කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද  පොලීසිය පවසයි.


පසුගිය 02 වැනිදා විහාරාධිපති හිමියන්ගේ  කාමරය තුළ තිබූ බැංකු කාඩ්පත මෙම සැකකරුවන් විසින් සොරාගෙන තරුණයා විසින් දංකොටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් කාඩ්පත උපයෝගී කරගනිමින් 03 සහ 04 යන දින දෙකේදී මුදල් සොරාගෙන ඇති බවත් එම මුදල් තරුණයාගේ නිවස අසල කජු ගසක් යට වළ දමා තිබියදී සොයාගත් බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  -සුපුන් හංසන-