ඇල්පිටිය ඇවිත්තාව ප්‍රධාන මාර්ගයේ නාලන්දා මහ විදුහල ආසන්නයේදී පෙරේදා (30) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි හා බස් අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.  මියගොස් ඇත්තේ අවිත්තාව ඕපාත පන්සල අසල පදිංචි සහන් රෝහිත ජයසිංහ නමැති 45 හැවිරිදි ස්වාමි  පුරුෂයා සහ ඕපාතගම විදානලාගේ රමණී පුෂ්පලතා නැමැති 42 හැවිරිදි ඔහුගේ බිරිය බව පොලිසිය කියයි.  අඹු සැමි දෙදෙනා යතුරුපැදියෙන් ඕපාත සිට ඇල්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී ඇල්පිටිය දෙස සිට අවිත්තාව බලා ධාවනය වූ ලංගම බස් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.


බස් රථය පාරෙන් අනෙක් පැත්තට ගොස් විදුලි කණුවක ගැටී නතරවී තිබුණ අතර
යුවළ පැමිණි යතුරුපැදිය තිබුණේ බස් රථයේ ඉදිරිපස බව පොලිසිය කියයි.  මියගිය සහන් පෙදරේරුවකු ලෙස සේවය කරන අතර බිරිය ඇල්පිටිය කැටදොල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක නිලධාරිනියක  ලෙස සේවය කර ඇති අතර ඔවුන්ගේ එකම පුතා අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන බවද පොලිසිය කියයි.  


වෙනදා සුපුරුදු පරිදි නිවස ළග සිට ඇගලුම් කම්හල් බස් රථයෙන් මෙම මියගිය කාන්තාව රැකියාවට ගොස් ඇතත් සිද්ධිය වූ  දින ඇයට එම කම්හල් බස් රථයෙන් සේවා  ස්ථානයට යාමට නොහැකි වී පසුව ස්වාමි පුරුෂයා ඔහුගේ යතුරු පැදියෙන් බිරිය සේවා ස්ථානය වෙත ගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය ඇල්පිටිය නාගරික හදිසි මරණ පරික්ෂක අනුර ඕපාත මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිත අතර බස් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.