බලයෙන් පහ කළ අවුන් සාන් සුකීට එරෙහිව නඩු ගොනු කිරීමට මියන්මාර පොලිසිය පියවර ගෙන ඇත. නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ ආනයනය කළ බවට චෝදනා කරමින් මෙලෙස නඩු පැවැරීමට පියවර ගෙන ඇති අතර ඇය ලබන 15 වැනිදා දක්වා රැඳවුම්භාරයේ තබාගන්නා බව ද පොලිසිය නිකුත් කළ ලේඛනයක දැක්වේ. නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව ඉකුත් දා (1) එරට බලය අත්පත් කරගත්තේ ය.
පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව ඉකුත් දා (1) පළමු වරට රැස්වීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මියන්මාර හමුදාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත් අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ද සිය පාලනය යටතට ගැනීමට හමුදාව පියවර ගත්තේ ය. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සුකීගේ ප්රජාතන්ත්රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත් නමුත් මියන්මාර හමුදාව එම මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප්ප කළේය. මැතිවරණයේදී වංචා හා දූෂණ සිදුව ඇතැයි මියන්මාර හමුදාව දිගින් දිගටම චෝදනා කළේය.
ප්රජාතන්ත්රවාදී ලෙස බලය හුවමාරු කිරීමට තිබූ අවස්ථාවට බාධා එල්ල කිරීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මෙම සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කළ අතර සාමකාමී ලෙස බලය හුවමාරු කරන්නැයි ද අත්අඩංගුවට ගත් දේශපාලන නායකයන් නිදහස් කරන්නැයි ද අවධාරණය කළේය. මියන්මාරයේ අගනුවර වන නේපිඩෝ හි පිහිටි අවුන් සාන් සුකීගේ නිවසේ තිබී ‘වෝකී ටෝකී රේඩියෝ" හමු වී ඇති බවෙත් ඒවා ආනයනය කර ඇත්තේ නීති විරෝධීව බවත් එරට පොලිසිය සඳහන් කළේය. ඒ අනුව ඊට අදාළ අධිකරණ නියෝග නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් වාර්තවල දැක්විණි. නීති විරෝධී ලෙස ආනයනය කිරීමට අමතරව කිසිදු අවසරයක් නොමැතිව ‘වෝකී ටෝකී රේඩියෝ" භාවිත කර ඇති බවට ද පොලිසිය චෝදනා ගොනු කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්විණි.
0 Comments