විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කල්ලාරු වනාන්තරයේ අක්කර 2388ක වන ගහනයක් හෙළි පෙහෙළි

කොට නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම මඟින් සිදු කරන ලද බරපතළ විනාශය සම්බන්ධයෙන් වරදකරු කොට
එකී සම්පූර්ණ භූමි ප්‍රමාණය යළි වගාකොට සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තු කරනු ලබන මුළු මුදලම


තම පෞද්ගලික ධනයෙන් ගෙවන ලෙසට තමාට නියම කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව
ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ල සිටිමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ
විශේෂ අභියාචනාවසර (Special Leave to Appeal) පෙත්සමක් ගොනු කරනු ලැබීය.

සීමාසහිත ආබ්දීන් ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මඟින් හිටපු ඇමැතිවරයා මෙම පෙත්සම ගොනු කොට ඇත.


මෙම නඩු තීන්දුව ලබා දෙන ලද්දේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ අභියාචනාධිකරණ විනිසුරු
නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරු දෙපළගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් ඉකුත්
වසරේ නොවැම්බර් 16 වැනි දිනය.

මෙම නඩුව රීට් පෙත්සමක් මඟින් ඔහුට එරෙහිව පවරන ලද්දේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වන අතර
නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම පාර්ශ්වයෙන් කරුණු දක්වනු ලැබීය.

අභියාචනාවසර පෙත්සම මඟින් ප්‍රකාශ කොට ඇත්තේ මෙම ක්‍රියාදාමය තමාගේ පෞද්ගලික ලාභ
ප්‍රයෝජනයක් තකා සිදු කරන ලද්දක් නොවන බවත් යුද්ධයෙන් උන්හිටිතැන් අහිමි වූවන් හට නවාතැන්
සැපයීම සඳහා ඊට අදාළව පිහිටුවා ඇති සංවිධානවල සහභාගිත්වයෙන් හා සහයෝගයෙන් එවකට පැවැති
රජයේ බලධාරීන්ගේද අනුදැනුම හා ආධාර අනුබල ඇතිව එම ක්‍රියාදාමය මෙහෙයවන ලද බවත්ය.

එබැවින් තම පෞද්ගලික ධනයෙන් එම වනාන්තරය යළි වගාකොට සංවර්ධනය කිරීමට තමාට නියෝග කිරීම
යුක්ති සහගත නොවන බැවින් එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

කමල් මහේන්ද්‍ර වීරරත්න