bimshani-jayasingharachchi

ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය බවට තේරී පත්වූ  බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය ගැන පසුගිය කාලයේ පළවූයේ කාහටත් ආදර්ශයට ගත හැකි කරුණුය. කාන්තාවක මෙම තත්වයට පත්වීම ගැන ආඩම්බරයට හේතුවක් බව බොහෝ අය කරුණු දක්වන ලදි. නමුත් දැන් මෙම තනතුර අභියෝගයට ලක්කරන අය සිටින බව වාර්තාවේ.


හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් කිරීම වැරදි ලෙස සිදුවූ බවට කරුනු දක්වමින් එය අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු විසින්  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීම ලබන මැයි 18 වැනිදා සිදු කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප‍්‍රනාන්දු, ශිරාන් ගුණරත්න හා අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මේ වනවිට එම නියෝජ්‍ය පොලිස්පතිනියට ලබාදී ඇති උසස්වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ගෙන ඒමට පෙත්සම්කරුවන් අධිකරණයෙන් අපේක්‍ෂා කරන බව දන්වා තිබේ.

එම පෙත්සමට අදාළ ලේඛන තම පාර්ශ්වය වෙත මෙතෙක් ලැබී නොමැති බවත් එකී ලේඛන ලැබුණු පසු පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්‍ෂා කරන බවත් බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසීය.



එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරි සති තුන ඇතුළත විරෝධතා ගොනුකරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ අතර එකී සති තුන අවසන් වූ පසු ඉදිරි සතිය ඇතුළත ඒ සම්බන්ධයෙන් ප‍්‍රති විරෝධතා ගොනුකරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

මෑතකදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද උසස්වීම් ක්‍රියාවලියේදී බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීම, උසස්වීම් රෙගුලාසිවලට පටහැනි බවත් එම රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය සඳහන් නොවන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

මේ අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමට පොලිසියේ නීතිඥ සහය අවශ්‍ය නොමැති බව බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය පොලිස්පතිවරයා වෙත දන්වා යව ඇති බව ආරංචි වුනා .ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ටාශය නියෝජනය කරන බැවින් ඔවුන් විසින් ම තමන් හට පෙත්සමක් ගොනු කිරීම නිසා පොලිස් නීතිඥ සහය පිලිබදව විශ්වාසය තැබිය නොහැකි බව ඇය ප්‍රකාශ කර තිබේ.