මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය ගායනා කෙරෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් යැයි ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාතාශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (1) පැවසීය.  කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අනිද්දා (4)  පැවැත්වෙන 13 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතික ධජය නංවන අවස්ථාවේදී මෙලෙස සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කෙරෙන බව ද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.  පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිදහස් දින උළෙල නැරඹීමට මහජනතාවට ඉඩ නොදෙන බව කී කමල් ගුණරත්න මහතා උළෙලේ ආරාධිතයන් සංඛ්‍යාව සීමා කරන්නට සිදුව ඇතැයි කීවේය.



නිදහස් දින උළෙලේ ආචාර පෙළපාළියට එක්කරගන්නා  ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින් හා සෙබළුන්  සංඛ්‍යාවද සීමා කර ඇති අතර ඔවුන් අනිවාර්යයෙන් පී.  සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂවන්ට ලක්කරන බව ද  කමල් ගුණරත්න මහතා කීවේය.   යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් 3153ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 821ක්, ගුවන් හමුදාවේ 740ක්, ශ්‍රී ලංකා පොලිසියෙන් හා විශේෂ කාර්ය බලකායෙන් 50ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ 457ක් මෙවර ආචාර පෙළපාළියට එක්වන බව ද හෙතෙම පැවසීය.


ආචාර පෙළපාලිය අවසානයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සහා සංස්කෘතික මධ්‍යස්ථානයන් නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනකු සහභාගී වන බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීවේය.


සිවිල් ආරක්ෂක බළකා මිහින්තලේ පුහුණු පාසල් කිහිප  දෙනකුට කොවිඩ් වැළඳී තිබූ නිසා ඔවුන් හා පළමු පෙළට ආශ්‍රිතයන් හැර සෙසු අය පෙළපාළිය සඳහා තෝරාගෙන ඇතැයි කී කමල් ගුණරත්න මහතා, ඔවුන් අතර ආසාදිතයන් ඇතැයි පරික්‍ෂණවලින් හෙළි වුවහොත් ඔවුන් හා ආශ්‍රිතයන් පෙළපාළියෙන් ඉවත් කරන බව සඳහන් කළේය.  එමෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ ආසන පැනවීම දුරස්ථභාවය රකින අයුරින් සිදුකරන බවත්, උත්සව භූමියට ඇතුළත් කරගන්නා සියලුදෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කරන අතර ඔවුන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳ සිටිය යුතු බව ද ඔහු පැවසීය.


 -ඩයනා උදයංගනී-