කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අත්පත් කරගත් මියන්මාර හමුදා ජනරාල්වරුවන්ට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (2) සුදානම් විය.  ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් එම ධුරයේ දිවුරුම් දුන් පසුගිය 20 වැනිදාය. ඒ අනුව, බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ලෙස විදේශ දේශපාලන  අර්බුදයකට මැදිවුණු පළමු අවස්ථාව මෙයයි.  මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරින් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. මියන්මාර හමුදාව, පෙරේදා (1) එරට බලය අත්පත් කර ගත්තේ එම පිරිස අත්අඩංගුවට ගනිමිනි.


අත්අඩංගුවට ගත් පිරිස රඳවා ඇත්තේ කොතැනකදැයි වාර්තා වන්නේ නැත. 
මියන්මාර හමුදාව බලය අත්පත් කරගත් අවස්ථාවේදී, ඇමෙරිකා රාජ්‍ය ලේකම් බලින්කන් මියන්මාර හමුදා නායකයන්ට පැවැසුවේ, සූ කී ඇතුළු පිරිස වහා නිදහස් කර, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසය. කෙසේ නමුත් හමුදා නායකයෝ ඒ ගැන තැකීමක් නොකළහ.  1962 වසරේත් ඉත්පසු 1988 වසරේත් මියන්මාර හමුදාව, එරට බලය අත්පත් කර ගත්තේය. මියන්මාරය වසර 50 ක් පුරාවට පැවැතියේ හමුදා පාලනය යටතේය. එම කාලයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පනවා තිබුණි.


මියන්මාර හමුදාව, 2011 දී ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදී දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කළේ වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසුවුණු ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට නිදහස ලබා දෙමිනි.  2015 මහ මැතිවරණයෙන් සූ කී ප්‍රමුඛ ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය' බලයට පත් වුවත්, හමුදාව මියන්මාර ව්‍යවස්ථාව සකසා ඇත්තේ ඔවුන්ට බලයේ රැදී සිටිය හැකි ලෙසය. ඒ අනුව, සූ කීගේ නිල නොවන නායකත්වය යටතේ 2015 සිට 2020 තෙක් මියන්මාරයේ පැවැතියේ හමුදා සිවිල් රජයකි.  2020 නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් ද සූ කී ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය අතිබහුතර ජයක් වාර්තා කළ බව මියන්මාර මැතිවරණ කොමිසම නිවේදනය කළේය.



කෙසේ නමුත් හමුදාවට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම මැතිවරණ වංචා සිදුවුණු බවට චෝදනා නගන්න විය.  මහ මැතිවරණයෙන් පසු මියන්මාර පාර්ලිමේන්තුව පෙරේදා (1) පළමු වරට රැස්වීමට නියමිතව තිබුණි. හමුදාව වහා ක්‍රියාත්මක වී,  මැතිවරණය දූෂිත යැයි චෝදනා කරමින් සූ කී ඇතුළු ඇගේම  පක්ෂයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ සිවිල්  ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඊට පෙරය. රටේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය වසරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන බව ජනාධිපති ධුරයට බාරගත් මියින්ත් ස්වේ පවසා ඇත.