මහර බන්ධනාගාර කැරැල්ලෙන් වෙඩිවැදී මියගිය රැඳවියන් එකොළොස් දෙනා අතරින් කොවිඩ් - 19
ආසාදනය නොවූ රැඳවියන් තිදෙනාගේ මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන
ලෙස ඉකුත් ජනවාරි මස 8 වැනිදා පැවැති නඩු විභාගයේදී වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී
රාගල මහතා නියෝග කළ නමුත් මේ දක්වා එම මෘත දේහයන් අයි.ඩී.එච්. රෝහල් මෘත ශරීරාගාරයේ
තබා ඇතැයි පෙබරවාරි 12 වැනිදා මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය
වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.
2020 නොවැම්බර් මස 29 වැනිදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය කොවිඩ් - 19 ආසාදිතයන්
බවට හඳුනා ගත් රැඳවියන් 8 දෙනකුගේ සිරුරු මීට පෙර අධිකරණ නියෝග මත සෞඛ්‍ය නීතිවලට අනුව
ආදාහනය කළ අතර මෙම රැඳවියන් තිදෙනා ආසාදිතයන් නොවන බැවින් ඔවුන්ගේ අවසන් කටයුතු පවුලේ
සමීපතම ඥාතීන් කිහිපදෙනකුගේද සහභාගිත්වයෙන් රජයේ වියදමින් සිදුකරන ලෙස අධිකරණ නියෝග ලබා
දී තිබිණි.
අධිකරණ නියෝග කඩකරමින් මෘතදේහවල අවසන් කටයුතු මෙතෙක් සිදු නොකළද කැරැල්ලෙන් රජයට සිදුවූ
පාඩුව කෝටි හයමාරක් බව පවසා රැඳවියන් 200කට ආසන්න පිරිසකට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ
නඩු පවරා ඇතැයි සේනක පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
ගරු අධිකරණය විසින් ඉකුත් ජනවාරි මස අට වැනිදා සෞඛ්‍ය අංශවලට ලබාදුන් උපදෙස් කඩ කරමින්
පුරා මසකට අධික කාලයක් මෙම මෘතදේහයන් රෝහල් මෘතශරීරාගාර තුළ තිබීම කනගාටුවට කරුණක් යැයි
පැවැසූ නීතිඥ සේනක පෙරේරා මහතා මෙම නඩුවේ පසුගිය වාර්තා සම්බන්ධ ප්‍රගතිය විමසා සිටිමින්
ඉතිරි මෘතදේහ තුන සම්බන්ධව ඔවුන්ගේ ඥාතීන් මුහුණදී ඇති ගැටලු ගැන අධිකරණයට කරුණු හෙළි කළේය.
තවද මෙම බන්ධනාගාර ගැටුමේ මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීරවංශ සහ
ජයන්ත සමරවීර යන මහත්වරුන් උත්තරීතර පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී මෙම කැරැල්ල සම්බන්ධව
ඔවුන් දන්නා කරුණු ලෙස මානසික රෝගීන් වෙනුවෙන් නිර්දේශිත ඔෟෂධයක් කිසියම් කුමන්ත්‍රණයක් මත
රැඳවියන්ට පානය කිරීමට ඉඩ සැලැස්වීම නිසා ගැටුම සිදුවූ බවට මාධ්‍ය ඉදිරියේදීද පැවැසූ බැවින්
ඔවුන්ගෙන් එම සිදුවීමට අදාළ තොරතුරු ලබා ගන්නා ලෙස නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පසුගිය
නඩු වාරයකදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය මෙතෙක් ඉටු නොවීම පිළිබඳව නීතිඥ සේනක පෙරේරා
මහතා විමසා සිටියේය.
කරුණු සැලකිල්ලට ගත් වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විමල් වීරවංශ සහ ජයන්ත
සමරවීර යන මහජන නියෝජිතයන් දෙදෙනාගෙන් ඔවුන් පැවැසූ කරුණු සම්බන්ධ ප්‍රකාශයක් ලබාගෙන
අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි නම් එයට හේතුව හෝ
මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසත් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
රජයේ භාරයේ සිටි රැඳවියන් වෙඩි තබා ඝාතනය කර මරා දැමීමේ කුමන්ත්‍රණය වසන් කිරීමට රුපියල්
කෝටි හයහමාරක දේපළ අලාභහානි සම්බන්ධයෙන් රැඳවියන්ට එරෙහිව නඩු පැවරීමට බන්ධනාගාර
විනිශ්චය සභාව බන්ධනාගාර ආඥා පනත යටතේ කඩිනමින් පියවර ගත්තද මියගිය රැඳවියන් වෙඩි තබා
ඝාතනය කළ මිනිස් ඝාතකයන් තවමත් සේවයේ නිරත වෙමින් පසුවීම රටේ නීතිය පිළිබඳව මහජන
විශ්වාසය පලුදුවීමට හේතුවක් වී ඇතැයි නීතිඥ සේනක පෙරේරා මහතා පැවැසීය.
ජයසේකර පටබැදිගේ සුමිත් කුමාර, හෙට්ටිආරච්චිගේ ළහිරු නිමන්ත, විතානගේ අවිශ්ක මල්ෂාන් යන මියගිය
රැඳවියන්ගේ මෘතදේහයන් මෙලෙස තවම අයි.ඩී.එච්. රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත. ඔවුන්
මාකොළ, ෙදාම්පේ සහ මල්වාන බියගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න,
විජේරත්න පුංචිහේවා, තම්බයියා ජෙයරත්න රාජා සහ චාමර යන නීතිඥවරු පිරිසක් අධිකරණය ඉදිරියේ
පෙනී සිටියහ.
නඩුව මාර්තු මස 19 වැනිදා යළි කැඳවීමට වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා
නියෝග කළේය.
කැලණිය - කුසුම් එස්. හැන්නදි
0 Comments