kalubowila dead body

මියගිය සිය පුත්‍රයා කෝවිඩ් ආසාදිතදැයි නිශ්චිතව දැනගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15)දා නියම කළේය. 



දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි කියන මොහොමඩ් හකීම් මාහොමඩ් ටිල්ෂාන් නමැති 26 හැවිරිදි තරුණයාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට වැඩිදුරටත් නියම කළේය. ත්‍රිකුණාමලයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රාලෙබ්බේ. මොහොමඩ් හකීම් නමැත්තා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් විජේසිංහ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මහතා නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සම මගින් කොළඹ දකුණ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේදී සිය පුත්‍රයා මියගිය බවත්, ඉන් අනතුරුව කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව සිය පුත්‍රයාටකෝවිඩ් ආසාදනය වී ඇතැයි දැනුම් දුන් බවත් සඳහන් කර ඇත.කෙසේ නමුත් සිය පුත්‍රයාට කෝවිඩ් වෛරසය නිශ්චිතවම ආසාදනය වී ඇද්දැයි යන්න තහවුරු කරගැනීම සඳහා යළිත් පී.සී.ආර්. පක්‍ෂණයක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයිද එතෙක් දැනට කොළඹ දකුණ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මොහොමඩ් හකීම් මොහොමඩ් ටිල්ෂාන් නමැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා තිබිණි.



පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයසිර් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අනිද්දා (17දා) අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන හෆීල් පාරිස් සහ රුෂ්ඩි හබීබ් සමග ජනාධිපති නීතිඥ ෆයසර් මුස්තාපා මහතා පෙනී සිටියහ

(බුද්ධිමාල් රුබේරු)