car-sale-issue

ණයවර ලිපි විවෘත කර විදේශයෙන් වාහන ගෙන්වීමේ බලාපොරොත්තුවෙන් සිටි වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් රජයේ ආනයන සීමා හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසිය.විපක්ෂ නායකවරයා මෙසේ පැවැසුවේ මේ කාරණය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී මෙසේ ද කීය. 2020 මාර්තු මස 19 වැනි දිනෙන් පසු ආනයන සීමා පැනවීමට රජය තීරණය කිරීම නිසා වාහනයක් ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකට, ද

ැනටමත් ණයවර ලිපි විවෘත කර ඇණවුම් කරන ලද වාහන, මෙරටට ගෙන්වීමට නොහැකි වී තිබෙනවා. එසේම, මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට ද මෙම ආනයන සීමා කිරීම නිසා සුවිශේෂී ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වෙනවා.රජයේ දුර්වල ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස අවප්‍රමාණය වන රුපියල ස්ථාවර කර ගැනීම සඳහා, හදිසියේ ගනු ලැබූ මෙම තීරණය නිසා රටේ  ක්ෂේත්‍ර  රැසකට අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. මෝටර් වාහන ආනයන ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවන්හි නියුතු පිරිසට අමතරව, සන්නිවේදන  ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ආනයනික යෙදවුම් භාවිතයෙන් සිදුකරන අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත රැකියාවන්හි නියුතු බොහෝ පිරිසකට මෙම ආනයන තහනම නිසා සිය ආදායම් මාර්ග මෙම රැකියාවන් ද අහිමිවීමේ අවදානමක් ඇතිවී තිබෙනවා.ලොව පුරා පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ,පසුගිය වසරේ මුල් කාර්තුවේ දී, මෝටර් රථ නිෂ්පාදනය අඩාල වී තිබුණු අතර, ඉන් පසු එය ක්‍රමයෙන් යථා තත්වයට පත්වී තිබෙනවා. මේ වන විට නිෂ්පාදන ආයතනය විසින් සිය ගැනුම්කරුවන් වෙත වාහන නැව්ගත කරමින් පැවතියත්, 2020.05.22 දින මෙරට පැනවූ වාහන ආනයන තහනම නිසා නීත්‍යනුකූලව නියමිත දිනට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන ද නැව්ගත කර ගෙන්වා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. එම වාහන සිංගප්පුරු වරායේ සහ නිෂ්පාදකයන්ගේ පෞද්ගලික අංගනයන්හි ගාල් කර ඇති අතර, එසේ වාහන ගාල් කර තැබීමට අධික ගුදම් ගාස්තු මෙන්ම ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙනවා.

නමුත් පසුව අවස්ථා දෙකක දී එනම්, 2020.06.19 දින නිකුත් කරන ලද ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය මගින් 2020.06.16 දක්වා නැව්ගත කරන ලද වාහන රේගුවෙන් නිදහස් කර ගැනීමටත්, 2020.07.10 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් 2020.06.26 දක්වා නැව්ගත කරන ලද වාහන රේගුවෙන් නිදහස් කර ගැනීමටත් අවසර ලබා දී තිබෙනවා.

මෙම අවස්ථා ද්විත්වයේදීම පූර්ව දැනුම් දීමකින් තොරව පෙර දිනයක් දක්වා නැව්ගත කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව, ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා නැව්ගත කරන ලද වාහන නිදහස් කර ඇති අතර, 2020 මාර්තු මස 19 වැනි දින හෝ ඊට ප්‍රථම ණයවර ලිපි විවෘත කර තිබූ නැව්ගත කිරීම් සඳහා නිසි නීත්‍යානුකූල උපදෙස් ලැබෙන තෙක් සිටි පිරිස දැඩි අපහසුතාවයටත් අසාධාරණයටත් ලක්ව සිටින බව වාර්තා වෙනවා. බොහෝ පිරිස් මෝටර් රථ ආනයන සඳහා ණයවර ලිපි විවෘත කිරීමට බැංකු මගින් හා වෙනත් මූල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබාගෙන ඇති අතර, ප්‍රමාදය නිසා අධික ලෙස ණය පොලී ගෙවීමට ද සිදුවී තිබෙනවා. එමෙන්ම වෘත්තිකයන් ඇතුළු බොහෝ රාජ්‍ය නිලධාරීන් විසින් ණයවර ලිපි විවෘත කිරීමට තමන් සතුව ඇති මෝටර් රථය විකිණිමට පවා කටයුතු කර ඇති අතර, නැවත මෝටර් රථයක් ආනයනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහත් දුෂ්කරතාවන්ට පත් වී තිබෙනවා. තවද මෝටර් රථ ආනයනය සඳහා දේශීය නියෝජිත ආයතනවලට ලබා දී ඇති අත්තිකාරම් මුදල් නැවත ලබාගැනීමේ අවිනිශ්චිතතාවයක් ද මේ වන විට මතුවී තිබෙනවා.
(සුජිත් හේවාජූලිගේ)