මේ දිනවල පොල් මිල වැඩි බවත්, එයට ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුව මගින් පොල් වගා නොකිරීම බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21දා) හම්බන්තොට සිංගප්පූර් සම්මන්ත්රණ ශාලාවේදී පැවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසනයේ කාන්තා නියෝජිත සම්මේලනයට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා,
"පැළයක් සිටුවා එය පීදිලා පොල් කඩන වසර පහක් පමණ යනවා. 2015 දී ගිය ආණ්ඩුව පොල් පැළ හිටෙව්වා නම් දැන් අපිට පොල් කඩන්න තිබුණා. නමුත් ඒ අය පොල් ඉල්ලුවේ නෑ. ඒ නිසා දැන් පොල් නෑ. පොල් මිල වැඩියි. ඒ නිසා අපි දැන් පොල් වගාවක් ආරම්භ කරලා තියෙනවා. පොල් පර්යේෂණ ආයතනයක් පුත්තලම ලුණුවිල පමණයි තිබුණේ. දැන් මිදෙණියෙත් තියෙනවා පොල් පර්යේෂණ ආයතනයක්. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයට ඔරොත්තු දෙන වැඩි ඵලදාවක් සහිත පොල් වර්ගය සොයාගනු ලබනවා. ඔබ රජයක් පත් කරගත්තේ සමස්ත රට වැසියාගේ මෙන්ම ඔබේ දුවා දරුවාගේ ප්‍රශ්න විසද ගන. ඒ සඳහා රට එක පිළිවෙළකට ගෙන යන්න. ගෝඨාභය ජනාධිපතිතුමා ගමින් ගමට ගොස් ඔබේ ප්‍රශ්නවලට සවන් දීලා ඒවා විසඳන්න අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනවා. ඇතැම් විට මේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ තියෙන නීති අණපනත් වෙනස් කරන්න වෙනවා. ගැසට් අලුතින් ගහන්න වෙනවා. මේවාට යම් ප්‍රමාදයක් ඇති වුණත් මේවා කෙරෙනවා.
රටේ රැකියා ප්රශ්නය විසඳන්න වෙන්නෙ නිෂ්පාදන දෙස බලලා. මත්තල ගුවන් තොටුපොළට දිනකට ගුවන් යානා පහක්වත් දැන් එනවා. මේ ඔස්සේ රැකියා අවස්ථා බිහි වෙනවා. ටයර් කර්මාන්තශාලාවක් හැදෙනවා. තව අවුරුදු දෙක තුනකින් රැකියා දෙදහසක් පමණ එමගින් උත්පාදනය වෙනවා. දැනට අවුරුදු විස්සකට පමණ පෙර මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රබර් වවන්න පටන්ගත්තා. කුඩා ඉඩම්වල රබර් වැවෙව්වා. ඒ අය දැන් රබර් කිරි කපනවා. රබර් මිල එන්න එන්නම ඉහළ යනවා. අපේ රටේ ටයර් නිෂ්පාදනය වනවිට පිටරට යැවීමෙන් අපට වින්දේශ විනිමය උපයන්න පුළුවන්. වරාය නිකන්ම හැදුවේ නෑ. අපි වරාය හදනකොට ලෝකයේ මොකද වෙන්නෙ කියලා බැලුවා.
දැන් දකුණු තායිලන්තයේ ඇළක් කපනවා සූවස් ඇළ වගේ වෙනත් ඇළක්. එවිට චීනය, ජපානය, පිලිපීනය වැනි රටවල නිෂ්පාදනය කරන දේවල් නැව්වලින් ගෙන එන්නේ මේ ඇළ හරහා. ඒ වගේම ඒ නැව්වලට අපේ රටේ හම්බන්තොට වරාය නවාතැන්පොළක් වෙනවා. මේ සියල්ලම ඔබට සහ ඔබේ දරුවාට. මේ රටට විසඳන්න හැකි ප්‍රශ්න සියල්ලම අපි විසඳලා දෙනවා. කර්මාන්තයක් හැටියට කිතුල් නිෂ්පාදන කිරීමට කටයුතු යොදා තිබෙනවා. සීනි පිටරටින් ගෙන්නන එක නවත්තලා කිතුල් කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්. ඒ ඔස්සේ රැකියා උත්පාදනය වෙනවා. ඒ නිසා කිතුල් නිෂ්පාදන අධිකාරියක් වැවිලි කර්මාන්ත අමාතශය මගින් හදලා තියෙනවා.
මොරගහකන්ද ජලාශය 2007 මහින්ද රාජපක්ෂ මහතා ගිහිල්ලා වැඩ ආරම්භ කළා. එම ජලාශයේ සිට අනුරාධපුරයට, වවුනියාවට, ත්‍රිකුණාමලයට ල්ලය ගෙන යන්න කි.මී. 28ක් දිග උමගක් හදන වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එමගින් තිසා වැව ඇතුළු කුඩා වැව් විශාල ප්‍රමාණයකට ජලය සපයන්න පුළුවන්. පසුගියදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බෝවතැන්න ජලාශයේ සිට වයඹට කුරුණගලට ජලය ගෙන යන්න මහ වැව් දෙකක් හදන්න වැඩ ආරම්භ කළා. 1970 -1977 අතර කාලයේ සිමාවෝ මැතිණියගේ ආණ්ඩුව කාලෙ කළ ජලාශයෙන් තමයි අපි වයඹට ජලය ගෙන යන්නෙ. උමා ඔයට අපි අප්‍රේල් මාස වෙනකොට වතුර දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ජල හිඟය තියෙනවා නම් යම් තැනකට ඒ සියලු තැන්වලට ජලය ලබාදෙනවා. අපි වැඩ කරන්නේ සැලැස්මක් ඇතිව.
මහගල්වැවට ජලය ලැබෙන්නේ උමා ඔය හරහා. මත්තල ගුවන් තොටුපොළත් එක්ක හැදෙන කර්මාන්තශාලාවලට අවශ්‍ය ජලය එමගින් සැපයෙනවා. ඒ සියලු දේවල් සිදු වනවිට මේ රටේ පොහොසත්ම දිස්ත්‍රික්කය බවට හම්බන්තොට අපේ දිස්ත්‍රික්කය පත් වෙනවා. ඒ සියල්ල ඉක්මනින් කරන්න බෑ. පසුගිය වසර පහ තුළ ඒ සියල්ල අතපසු වුණා. ඒ අතපසුවීම් සමග තමයි අපි ඉස්සරහට යන්නෙ. මෙම කාන්තා සම්මේලනයේ ආරාධිත දේශනය පැවැත්වීම සිදුකරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් වන අතර,පාර්ලිමේත්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති , හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාව සඳහා සහභාගි විය.
-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි-
0 Comments