cilanica-highway

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේදී හමු වූ  කෘඬියා සෙලනිකා ශාකය ඉවත් නොකර, එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වන සම්පත් අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.එම ශාකය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක පිහිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු 

ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් ශාකය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරියට ලිපියක් යැවූ බව ද රත්නායක මහතා කීය.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟව ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට

කරුණු වාර්තා කළ බවත් මාර්ග සංවර්ධන අධිකාරියට යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මෙම හොඳින් වැඩුණු ශාකයක් වන එම කෘඬියා සෙලනිකා ශාකය ඉවත් කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.කෘඬියා සෙලනිකා ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සේ සැලකෙන අතර එය වඳ වී ගිය ශාකයක් ලෙස රතු දත්ත පොතට ද එක්ව තිබූ අතර මෙම ශාකය හමුවීමෙන් පසු තවත් ශාක කිහිපයක් හමුවී තිබිණි.

 (විනීතා එම්. ගමගේ)