යුරෝපයේ ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන් වෙත සිය ගමනාන්ත වෙත යාමට අවශ්‍ය කරන COVID-19 පරික්ෂාවන්හි ඍණාත්මක ප්‍රතිඵල සහිත වාර්තා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව 
යුරෝපයේ පොලිස් ආයතනය වන යුරෝපෝල් පවසයි. මෙහිදී එක් සෘණාත්මක ප්‍රතිඵල වාර්තාවක් යූරෝ 300ක් එනම් රුපියල් 70,000ක පමණ මුදලකට  ලබාදීම සිදුවන බව සදහන් වෙයි.


යුරෝපයද ඇතුළුව ලොව පුරා ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය හේතුවෙන් සංචාරයේදී මෙම COVID-19 සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලය අත්‍යවශ්‍යවීම මෙලස ඒ සම්බන්ධ ජාවාරමක් ඇති වීමට මූලික වී තිබේ. දැනටමත් මෙවැනි අසත්‍ය පරීක්ෂණ වාර්තා ළග තබාගත් සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකුම ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ගුවන් තොටුපොළවලදී අත්අඩංගුවට ගෙන තිබේ.


දැනට වාර්තා වන අන්දමට මෙම කණ්ඩායම ස්පාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වෙමින් අන්තර්ජාලය සහ පණිවුඩ ක්‍රම හරහා සම්බන්ධ වෙමින් මෙවැනි COVID-19 සෘණාත්මක ප්‍රතිඵල වාර්තා අවශ්‍ය පිරිස් වෙත ඒවා සපයමින් සිටින බව අනාවරණය වී ඇත.