covid19 muslim cremation sri lanka

පසුගිය කාලයේ රටේ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ගැටලුවක් වූයේ මුස්ලිම් ජනතාව කොරෝනා රෝගයෙන් මියගිය පසු එම දේහයන් ආගමික සිරිත අනුව භූමිදානය නොකර ආදාහනය කිරීමයි. මේ සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක පැනනැගුණ අතර අවස්ථා දෙකකදී අවසන් නිගමන ප්‍රකාශයට පත් කිරීමක්ද රජයෙන් සිදුවිය. අවසන් වරට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා කමිටු නිර්දේශයක් ලෙස දන්වා සිටියේ භූමිදානයට අවසර නැති බවයි.
ඉන්පසු මෙම ගැටලුව ජාත්‍යන්තරයටද ගිය අතර ජිනවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇඟවුමක් කර තිබුනේ එයින් මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් කඩවන තත්වයක් මතුවිය හැකි බවකි. මේ ගැන තවම ජාත්‍යන්තර මට්ටමින් දෙයක් සිදුව නැතත් ඉදිරියේදී සිදුවන බවට වාර්තා පළව තිබේ.


මෙවැනි පසුබිමක අද දින (10) පාර්ලිමේන්තුවේදී කොවිඩ් වසංගතය ගැන කටයුතු කරන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ කතාවකදී පැවසුනේ මේ දක්වා තර්කයක් ලෙස රජය ගෙනහැර පෑ කොරෝනා දේහයන් භූමිදානයෙන් භූගත ජලයට විෂබීජ සංසරණය ඔප්පුවී නැති බවයි.
මෙම නව අදහස ගැන වේගවත් ප්‍රශනයක් යොමු කරමින් විපක්ෂයේ මරික්කාර් මන්ත්‍රීවරයා විමසා සිටියේ දැන් විෂබීජ ප්‍රශ්නය විසඳී ඇති නිසා දේහයන්   භූමිදානයට අවසර දෙනවාද? යන්න අගමැති උත්තර දියයුතු බවයි. එම ප්‍රශ්නය නැගීම ගැන කතානායක වරයාද කැමැත්ත පළ නොකළ නමුත් කලබලය මැද එම අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ එක් වාක්‍යයක් පමණක් පිළිතුරු ලෙස දක්වා සිටි අතර ඔහු කියා සිටියේ ‘මට කියන්න තියෙන්නෙ භූමිදානය කරන්න ඉඩ දෙනවා‘ යනුවෙනි.

පාර්ලිමේන්තු කැමරා රූපරාමුවලට පවා අගමැතිවරයා පෙන්වන්නට ඉඩක් නොලැබ තිබුණි.
මෙම පිළිතුර මේ දක්වා විශාල ලෙස කතාබහට ලක්වූ කාරණාවක විසඳුමක් වුවද පාර්ලිමේන්තුවේදී අගමැති එය පැවසූ ආකාරය එතරම් විශ්වාසවන්ත ස්වරූපයකින් කියැවුනේ නැත.
කෙසේ වෙතත් පවතින ජාත්‍යන්තර පීඩනය හමුවේ රජයේ භූමිදාන තීරණය වෙනස්වී තිබීමටද ඉඩක් පවතී.
මේ අතර අද දින අගමැති කළ එම කෙටි ප්‍රකාශය මාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත් පසුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මහත්මිය එය අගය කරමින් ට්විටර් පණිවිඩයක්ද තබා ඇත. ඒ මෙසේය.
‘මාධ්‍ය වාර්තා අනුව COVID වින්දිතයින්ගේ අනිවාර්ය ආදාහනය අවසන් කිරීම සඳහා අගමැතිගේ නිවේදනය සාදරයෙන් පිළිගනිමි.  අන්තර්ජාතික මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත් වලට ගරු කරන සංශෝධිත පිළිවෙතක් ක්‍රියාත්මක කිරීම  ධනාත්මක ක්‍රියාවකි.‘