cream-doctor-narahenpita

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට  ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය කළැයි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.



නාරාහේන්පිට, පදිංචි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.පී.සී.ජේ. කුලසිංහ අධිකරණයට දැන්වීය.

සැකකාර වෛද්‍යවරයා විසින් තමාව දූෂණය කළ බවට වැල්ලවත්ත පදිංචි 26 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. පැමිණිලිකාරිය සිය සම පැහැපත් කර ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ සොයා බැලීම් කිරීමේදී, සැකකාර වෛද්‍යවරයාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම පැහැපත් කිරීමේ එන්නත් රුපියල් 10,000 සිට රුපියල් 35,000 දක්වා මිල ගණන් යටතේ තිබෙන බවත් පැමිණිලිකාරිය අනාවරණය කරගෙන තිබේ.

පැමිණිලිකාරිය එන්නත්වල මිල ගණන් වැඩි බව සැකකරුට දන්වා ඇති අතර එහිදී ඔහු ‘‘ක්‍රීම් එකක් තියෙනවා දෙන්නම්’’ කියා පවසා වෛද්‍ය මධ්‍යස්ථානයේ උඩුමහලට පැමිණිලිකාරිය රැගෙන ගොස් එහිදී දූෂණයට ලක්කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකාර වෛද්‍යවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

ඉෂාර රත්නකාර