ශ්‍රී  ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාල සීමාව තුළ යම්කිසි පසුබෑමකට ලක්වුණු බව සියලු දෙනා
දන්නා කරුණකි. ඒ අනුව මෙම පසුබෑමට සමගාමීව ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට
ක්‍රිකට් ආයතනය මඟින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් නිරන්තර කතාබහක් නිර්මාණය වූ අතර, මෙම
පසුබෑමත් සමඟින් ඔවුන්ට සිදුකරන ගෙවීම්වල සංශෝධනයන් සිදු විය යුතු බව බොහෝ දෙනකුගේ අදහස වී
තිබිණි. මෙවන් පසුබිමක් තුළ අදාළ ක්‍රීඩකයින්ට සිදු කරනු ලබන ගෙවීම් යම් තරමකින් කප්පාදුවකට ලක්
කිරීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.


ඒ අනුව දැනගන්නට ඇති පරිදි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප සියයට 40ක සීමාවකින් කප්පාදුවට
ලක් කිරීමට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, මෙයට ආසන්නතම හේතුව ලෙසින් සඳහන්
වන්නේ එංගලන්ත-ශ්‍රී  ලංකා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් දැක්වූ දුර්වල ක්‍රීඩා
විලාසයයි.

එමෙන්ම පසුගිය දිනවලදී ක්‍රීඩා අමාත්‍යවරයාද පවසා තිබුණේ ක්‍රීඩකයන්ගේ දස්කම් අනුව ඔවුන්ට
සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කිරීම කාලෝචිත බවයි. එමෙන්ම ශ්‍රී  ලංකා ක්‍රිකට්
ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තුද අඩකින් අඩු කිරීමට
ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන බවයි. ඒ අනුව ප්‍රධාන තලයේ ක්‍රීඩකයකුට මේ වන විට හිමිවන
ඇමෙරිකන් ඩොලර් 120,000ක කොන්ත්‍රාත්තු මුදල ඇමෙරිකානු ඩොලර් 70,000 සීමාවට ළඟා වනු ඇති
බවද පැවැසේ.

එයට අමතරව මේ වන විට ටෙස්ට් තරගයක් සඳහා ඇමෙරිකන් ඩොලර් 7500, එක්දින ක්‍රිකට් තරගයක්
සඳහා ඇමෙරිකන් ඩොලර් 4000ක සහ විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ඇමෙරිකන් ඩොලර්
2000ක් වශයෙන් කරනු ලබන ගෙවීම්ද අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බලා ඇති බවද දැනගන්නට ඇත.
එහෙත් මෙම දීමනා කප්පාදුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා මතුව තිබුණද ක්‍රීඩා
අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෙම කටයුත්ත ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇති බවද සඳහන්ය.

කෙසේ නමුත් මේ ආකාරයෙන් දීමනා කප්පාදුව සිදු කළද තරග ජයග්‍රහණ වෙනුවෙන් අදාළ තරග ගාස්තු
දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩි කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


ගමිත දෙහිපිටිය