cricket-sri-lanka

ක්‍රිකට් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ අරවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්‍ෂණික කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්  සිදුකරන නිර්දේශ අද සිකුරාදා සිට  ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.  ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරී වැඩකටයුතු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය අමාතයංශයේ  10දා  පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.




ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝම ක්‍රීඩාකරවීමේ මතයේ තමන් නොසිටින බවත්, දක්‍ෂතා තිබෙන නවකයන් සිටිනවා නම් ඔවුන්ටද ජාතික සංචිතයට ඇතුළත්වීමට අවස්ථාව තිබෙන බවත් තරුණ හා‍ෙක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්‍ෂ මහතා පැවසීය. එමෙන්ම පසුගියදා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට්  තාක්‍ෂණික කමිටුව ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් සිදුකළ යුතු වෙනස්කම් සියල්ල සිදුකරගෙන යන බවත්, ඒ  වෙනුවෙන් සිකුරාදා (12දා) දිනයේ ක්‍රිකට් ආයතනය සමග දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ මහතා පැවසීය. මෙහිදී තවත් කරුණු කාරණා කිහිපයක් සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් හා ක්‍රීඩකයන් 'කෝවිඩ් -19"වෛරසයට ගොදුරුවීමත් සමග කල්දැමීමට සිදුවූ බ.ඉ. කොදෙව් සංචාරය පිළිබඳව කරුණු විමසා සිටියේය.


"නම තිබෙන අයම ක්‍රීඩා කළ යුතුයි කියලා නීතියක් නැහැ. ක්‍රීඩා කරන්න පුළුවන් නම්, ෆිට්නස් ටෙස්ට් එක පාස්නම්, විනය තිබෙනවා නම්, ඒ ඕනෑම කෙනෙකුට ජාතික සංචිතයට යන්න පුළුවන්. මම ක්‍රිකට් පාලක මණ්ඩලයට පැහැදිලිවම කිව්වා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ අසනීප තත්වයක් හෝ ක්‍රීඩා කරන්න බැරිකමක් තිබෙනවා නම් නවකයන්ට අවස්ථාවක් ලබාදෙන්න කියලා. ඒකට මගේ කිසිම තහනමක් නැහැ. මොකද අපි පකිස්තානයට ගියෙත් නවකයෝ එක්ක, දිනලත් ආවා. ඒ නිසා නවක ක්‍රීඩකයන්ටත් මේක හොඳ අවස්ථාවක් තමන්ගේ දස්කම් පෙන්වන. ක්‍රීඩාවයි, විනයයි කියන දෙක එකට යන්න ඕන කාරණයක්. හැබැයි ක්‍රීඩාව වෘත්තීමය වශයෙන් ගෙනාවොත්, ක්‍රීඩා කිරීමේ මානසිකත්වය හැදුවොත් ක්‍රීඩකයාගේ විනයත් ඉබේම හැදෙනවා.


විනය තුළ තමයි ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව, ක්‍රීඩකයාගේ ජීවන රටාව නිර්මාණය වෙන්නේ. විනය කියන්නේ කතාකිරීම හෝ හැසිරීම පමණක් නෙමෙයි කෑම කන විදිහ, පුහුණුවීම් කටයුතු කිරීම, නිවසෙත් ඉන් පිටත් කටයුතු කිරීම කියන මේ සියල්ලම.  ඒනිසා ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ සියලු වගකීම් අදාළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ට පවරා තිබෙනවා. ලිඛිතව අපි දැඩිව සඳහන් කරනවා ක්‍රියාත්මක වියු යුතු කාරණා ගැන. විනය කඩකරන ක්‍රීඩකයන්ට එරෙහිව ඒ ඒ සංගම් ක්‍රියාත්මක වුණේ නැත්නම්, ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට ඒ සඳහා මැදිහත් වෙනවා.”  ක්‍රිකට් තාක්‍ෂණික කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයාගෙන් කරුණු විමසා  සිටියේය.


 "ක්‍රිකට් සම්බන්ධයෙන් කටයුතු කිරිම අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව පත්කළා. ඒකට රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර මහත්වරුන් ඇතුළත්. ඔවුන් මේ සිකුරාදා ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. පරිපාලනයේ සිදුවිය යුතු ව්‍යුහමය වෙනස නිර්දේශ කරනවා. ක්‍රිකට් පැත්තෙන් සිදුවිය යුතු වෙනස ක්‍රියාත්මක කරනවා. ඒක නමට දාපු කමිටුවක්නෙමෙයි, ක්‍රියාත්මක කරන්න දාපු කමිටුවක්. ක්‍රිකට් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ටික ක්‍රියාත්මක කරනවා.” තේරීම් කට්ටු පත්කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු දුන් නාමල් රාස්පක්‍ෂ මහතා,


"දැන් තේරීම් කමිටු පවෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නෙමෙයි. තේරීම් කමිටු පත්වන්නේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙන්.   ක්‍රීඩා අමාත්‍යවරයාට තිබුණු බලතලයක් වුවත්, මම විශ්වාස කරනවා තේරීම් කටයුතු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සිදුවිය යුතු නැහැ කියලා. ඒ සඳහා හරි ක්‍රමයක් අපි අනුගමනය කළ යුතුයි.”  ගමට ක්‍රීඩාව ගෙනයාමට උත්සාහ කළත්, කොළඹ පාසලකට කොළඹ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමටනොහැකි වුවහොත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන බවට සමාජයේ තිබෙන  මතයට විකල්පයක් තිබෙනවාද යන්න පිළිබඳවත්, ගමේ පාසල හා ගමේ ක්‍රීඩා සමාජය නඟාසිටුවීමට  යම් වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න පිළිබඳවත් මෙහිදී විමසා සිටියේය.




"මේකේ තර්ක දෙකක් තිබෙනවා. එකක්, පළමුපෙළ ක්‍රීඩා කරන කණ්ඩායම් වැඩිවීමෙන් තරගකාරිත්වය අඩුවෙනවා කියලා සමහරු කියනවා. ඒ නිසා ගමට පළමුපෙළ තරග දෙන්න ගියොත් ගැටලු ඇතිවෙනවා. අද ඉන්න ක්‍රීඩකයන්ගෙන් 80%ක් විතර ගම් මට්ටමින් ආව ක්‍රීඩකයෝ. නගරේ  ක්‍රීඩකයෝ නැහැ. පාපන්දු, රගවලත් මේ තත්වය තියෙන්නේ. ඒ නිසා කළයුතු දේ තමයි ගමේ ක්‍රීඩකයාගේ දක්‍ෂතා දියුණුවෙන්න වැඩ කරන්න ඕන. දක්‍ෂතාව කැපීපෙනුණාත් තමන් ක්‍රීඩා කරන්නේ යාපනයේද, හම්බන්තොටද කොළඹද කියන කාරණය ඉස්මතුවෙන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශය හා තරුණ කටයුතු  අමාත්‍යාංශයේ ක්‍රීඩාව හා තරුණයා කේන්ද්‍ර කරගත්  කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.  මහා පරිමාණයෙන් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක්.


"මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා කවුන්සිලය පත්කළාට පස්සේ, ඔවුන්ගෙන් ලැබුණ උපදෙස් හා සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක්  ලෙස එකඟතාවකට ආවා ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රමිතිගත කිරීමට. සමහර ක්‍රීඩාංගණවල ප්‍රේක්‍ෂකාගාර ඉදිකරන්න විතරක් රු.මි. 300ක් විතර වියදම් කරලා. නමුත් ක්‍රීඩාංගණය ඉදිකරන්න සත පහක් දාලා නැහැ. අවසානයේ වගුරු බිමක් මැද තිබෙන ප්‍රේක්‍ෂකාගාරයක් දකින්න ලැබෙන්නේ. මේ පිළිබඳ අපිව දැනුවත් කළා. ජාතික තලයේ ක්‍රීඩකයන්ව වෘත්තීමය ක්‍රීඩකයන් බවට පරිවර්තනය කරන්න අපි ගිවිසුම්ගත වුණා. ඒ අනුව ලංකාවේ සෑම ක්‍රීඩාවකම දක්‍ෂතාව වගේම ජයග්‍රහණ පදනම් කරගත් වෘත්තීමය ක්‍රීඩකයන් සොයාගත්තා. මේ වනවිට ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා ඉලක්ක කරගෙන මලල ක්‍රීඩකයෝ 51දෙනෙකු ගිවිසුම්ගත කරලා තියෙනවා.


අපේ ඊළඟ ප්‍රධානතම කර්තව්‍ය අපේ භාෂාවෙන් කියනවානම් 'ක්‍රීඩාවේ උණ’ ගම තුළ නැවත වතාවක් හදන එක. එදා ගොයම් කැපුවාම ළමයි එල්ලේ ගැහුවා, වොලිබෝල් සෙල්ලම් කළා. නමුත් මෑත ඉතිහාසයේ එවන්නක් දකින්න නැහැ. ඒ නිසා ග්‍රාමීය  ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රමිතිගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා.  ඒ වගේම මේ ක්‍රීඩාංගණ හැදුවට මේවා නඩත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා යෝජනාවක් ලෙස ඒ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ, පොලීසිය, වෙළෙඳ සංගම්  මේ සියල්ල එකතු කරලා පරිපාලන කමිටුවක් සෑම ක්‍රීඩාංගණයකටම පත්කරන්න බලාපොරොත්තු වෙනවා.


ඒ වගේම ග්‍රාමීය ක්‍රීඩාංගණවල වගකීම අදාළ ක්‍රීඩා සමාජවලට භාරදෙන්නත් අපි කටයුතු  කරනවා. ඒ තුළින් ක්‍රීඩාංගණයෙන් යම් ආදායමක් තිබෙනවා නම් ඒ ආදායම ක්‍රීඩාංගණ තාර පරිපාලන කමිටුවට ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ආරම්භ කරනවා ප්‍රධාන ක්‍රීඩාංගණය ප්‍රමිතිගත කිරීමේ වැඩපිළිවෙළක්. ඒ අනුව එක් ප්‍රාදේශීය සභාවකට රු.ලක්‍ෂ 50ක මුදලක් දෙනවා. මේක අදියර පහකට සිද්ධ වෙන්නේ. අවුරුදු පහක් ඇතුළත ප්‍රමිතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා පාසල් ක්‍රීඩාංගණ පරිහරණය කරන්නත්. මේ වනවිට ඒ ගැන සාකච්ඡාකරගෙන යනවා. ඒ අනුව ක්‍රීඩා සමාජයන්ට පාසල් ක්‍රීඩාංගණ හවස්වරුවේ පරිහරණය කරන්න පුළුවන්.


එවිට පාසලේ තිබෙන දේපළ ආරක්‍ෂා කරගන්නත්, ක්‍රීඩාංගණය ආරක්ෂා කරගැනීමේ වගකීමත් ක්‍රීඩා සමාජය ගත යුතුයි. ඒ නිසා ක්‍රීඩාංගණයක් නැති ගමකට වුණත් පාසලේ ක්‍රීඩාංගණය භාවිත කරන්න පුළුවන්. මෙම පාසල් ක්‍රීඩාපිටි සංවර්ධනය සඳහා අධ්‍යාපන කලාප සියයකට රු.ලක්‍ෂ 32ක මුදලක් වෙන්කරලා තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා පාසල් දහයක මී. 130 සින්තටික් ධාවන පථ හැදෙනවා. ඉන් අපේ අරමුණ ක්‍රීඩා පාසල හැරුණුකොට, දිස්ත්‍රික්කයේ අනෙක් දරුවන්ටත් ඒ සින්තටික් ධාවන පථය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාදීම” යනුවෙන් පැවසීය.


 - සංජීව ධර්මසේන-