dehiwala-gem-businessman

දැස් නොපෙනෙන මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක් බලෙන් අත්පත් කර ගැනීමට ගිය ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (23)දා පොලිස්පතිවරයාට නියෝග කළේය.

තවද මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයට සහය දැක්වීමට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතාටද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හරහා ඉල්ලිමක් කළේය.



ඇමතිවරයකුගේ නම භාවිත කරමින් ඉකුත් නොවැම්බර් මස 27 වන දින දෙහිවල අත්තිඩිය කව්ඩාන ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා මෙම නිවස බලෙන් අත්පත් කර ගැනීමට ගම්පොළ නගර සභාවේ උපනගරාධිපති ෆුර්කාන් හජ්ජියාර් ඇතුළු පිරිසක් වාහන කිහිපයකින් පැමිණ මෙම නිවසට බලෙන් ඇතුළු වූ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන ගීත්ම ප්‍රනාන්දු හා වරුණ ජයසිංහ යන මහත්වරු අධිකරණය හමුවේ කියා සිටියහ.

දෑස් නොපෙනෙන මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ මෙම නිවසේ ජීවත් වෙයි. අදාළ නිවෙස් හිමි ව්‍යාපාරිකයා එළියට ඇද දමා මෙම නිවස අත්පත් කරගැනීමට උත්සාහ දැරීම සම්බන්ධව ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ වන තෙක්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ දේශපාලන හා ඉහළ පොලිස් නිලධාරින්ගේ බලපෑමක් මේ සිදුවීම සම්බන්ධව ඇති නිසා දැයි සැකයක් මතු වී ඇති බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙහි දී අතිරේක මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ දැනට සිදු කර ඇති විමර්ශන සම්බන්ධව තමන් සැහීමකට පත් නොවන හෙයින් විමර්ශන කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමටත් මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇත්දැයි සොයා බැලීමටත් පොලිස්පතිවරයාට නියෝග කළේය. අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග සිදු කළේය. නඩුව නැවත මැයි 25වන දින කැදවීමට නියමිත ය.

 (ගල්කිස්ස අධිකරණය - දිලංගා ගෝමස්)