පවතින කොරෝනා අර්බුදය හමුවේ ලොව සියලු රටවල ආර්ථිකය කඩාවැටී තිබියදී කිසිදු රටක් අලුතෙන්
රැකියා නොදෙන බවත් එවන් තත්ත්වයක් තුළ පවා සර් ෆේල් කියා විරුද්ධ පක්ෂය කියන රටේ ලක්ෂ ගණනකට
රැකියා ලබා දුන් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන
සංවිධායක ඩිලාන් පෙරේරා පැවැසීය.

මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ හාලිඇළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීම අමතමිනි.
උපාධිධාරීන් පනස් දහසකට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පත්වීම් ලැබූ හාලිඇළ
කොට්ඨාසයේ උපාධිධාරී තරුණ තරුණියන් පිරිසකට පත්වීම් ලිපි ලබාදීම උදෙසා හාලිඇළ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලය මඟින් සංවිධානය කොට තිබූ එම රැස්වීම අමතමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.


“ලෝකය පුරා පවතින මේ කොරෝනා අර්බුදය නිසා ලෝකයම ආර්ථික වශයෙනුත් අර්බුදයකට පත්වෙලා. මේ
තත්ත්වය තුළ ලෝකයේ කිසිම රටක ආර්ථීක වර්ධන වේගය ධන වී නෑ. බොහෝ රටවල ආර්ථික වර්ධනය ඍණ
තත්ත්වයේ තියෙන්නේ. අපටත් ඒ තත්ත්වය බලපානවා. ඒත් අප උත්සාහ කරන්නේ අඩු තරමින් එම වේගය
ඍණ නොවී බින්දුවේ හෝ තබාගන්නයි. මේ කොරෝනා තත්ත්වය නිසා අපේ සංචාරක ක්ෂේත්‍රය
කඩාවැටිලා. විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ලැබුණු ආදායම අඩුවෙලා. අපනයන සීමා වෙලා. අවුරුදු
ගණනාවකට පසු අපේ රටේ අඩුම තේ නිෂ්පාදනය ගිය අවුරුද්දේ වාර්තා වුණා.

පෞද්ගලික අංශයේ පවා බොහෝ ආයතන සේවක වැටුප සියයට පනහකින් අඩුකළා. අතිකාල නැවැත්තුවා.
උත්සව අත්තිකාරම් නැවැත්තුවා. වැඩකරන දින අඩුකළා. ආණ්ඩුවේ කාර්යාල පවා කාලයක් සේවකවන්
ගෙන්නුවේ සියයට පනහයි.

ලෝකය පුරා එහෙම තත්ත්වයක් තිබියදී සර් ෆේල් කියා විරුද්ධ පක්ෂය කියන රටේ රැකියා ලක්ෂ ගණනින්
දුන්නා. විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා දුන්නේ. ඒකෙන්ම පේනවා සර්ද ෆේල් - සර් ෆේල් කියන
අයද ෆේල් කියලා.


බුද්ධියට ගරු කරමින් මේ වගේ උපාධිධාරීන්ට රැකියා ලබාදෙනකොට අපේ වගේ පළාත්වල දරුවන්ගේ
වරදින් නොවේ පාසල්වල උගන්වන්න ගුරුවරුන් නැතිවීමේ වරදින් විභාග අසමත් වූ අයටත් රජයේ රැකියා
ලක්ෂ ගණනක් ලබාදුන්නා. විභාගයක් අසමත් වීම රැකියාවකට සුදුසුකමක් ලෙස සැලකූ ලෝකයේ එකම රට
ලංකාව. මේ වැඩපිළිවෙළ කොළඹ සමහරුන්ගේ සමච්චලයට ලක්වුණත් එය සමච්චලයට කරුණක් නොවේ. ඒ
දරුවන් විභාග අසමත් වුණේ ඒ අයගේ වරදින් නොවේ.

ඒ නිසා මම ඔබට කියන්නේ අද ඔබ ඇතුළුවන සේවය තුළ ඔබ අවංක වෙන්න. මම දේශපාලනයට එද්දි
මගේ තාත්තා මට එක දෙයක් කීවා. “උඹට සල්ලි නැතිනම් මගෙන් ඉල්ලපන්. හොරකම් කරන්න එපා
කීවා.” මම දේශපාලනයට එද්දි මගේ තාත්තා මට දුන් අවවාදය එයයි. මම ඒ අවවාදය මේ වන තුරු
පිළිපදිනවා. හොරකම් කරලා උපයන සල්ලි යාදෙන්නේ නෑ. ඒ නිසා මමත් ඔබට කියන්නේ හොරකම් කරන්න
එපා. යාදෙන්නේ නෑ. රාජ්‍ය  සේවය තුළ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පෙර යුතුකම් වගකීම්
ඉටුකරන්න පුරුදු වෙන්න.”  

ඇටම්පිටිය - රත්න වීරසිංහ