fake-policeman

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති පොලිස් කොස්තාපල්වරුන්ගේ සේවය ස්ථිර කිරිමේ පරික්ෂණයකට පොලිස් කොස්තාපල්වරයකු වෙනුවෙන් වංචනිකව ඉදිරිපත්වී ඇති සිවිල් පුද්ගලයකු පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තොටවැල්ල, රඹුත්ත පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු වන අතර බව පොලිසිය කියයි. 

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකුගේ පිහිනුම් පරික්ෂණය සඳහා මෙම පුද්ගලයා වංචනිකව පෙනී සිටි අවස්ථාවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා, පිහිනුම් පරික්ෂණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි  පොලිස් කොස්තාපල්වරයාගේ මිතුරකු වන අතර ඔහු වැඩ තහනමට ලක් වූ හිටපු විශේෂ කාර්ය  බළකායේ සාමාජිකයකු බව පොලිසිය සඳහන් කරයි.


සැකකරු සන්තකයේ තිබී මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ නිල අංකය සහිත පොලිස් ඇඳුම් කට්ටලයක්, 2019 වර්ෂයෙහි ජාත්‍යන්තර පොලිස් සංගමයේ නිල හැඳුනුම්පත, පොලිස් කොස්තාපල්වරයාගේ නිල හැඳුනුම ,නිල ලාංජන සහිත රෙදි තොප්පියක්, අදාල විභාග අයදුම්පත්‍රය සහ ස්වයං ප්‍රකාශය සහ ජංගම දුරකථනයද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.  එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය කියයි.


 - ප්‍රේමතිලක පෙරමුණ -