ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත
වෛද්‍යවරයා මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් හා වෛද්‍යවරයාට තිබූ නිදන්ගත
රෝගාබාධවල සංකූලතා හේතුවෙන් බැව් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි ගාල්ල
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන්
රුවන්පුර මහතා පවසයි.
මියගිය වෛද්‍යවරයාට අධික රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් ආදී නිදන්ගත රෝග ගණනාවක් තිබී ඇති
බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ආනාවරණය වී ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන්
කළේය.
මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නමැති 32 හැවිරිදි වියේ පසුවූ
වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ
සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය ආරච්චි මහත්මිය විසින් සිදුකළ අතර මියගිය
වෛද්‍යවරයාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම්. නාෂිම් මහතා
විසින් සිදුකරන ලදී.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ලංකාවේ පළමු වෛද්‍යවරයා වන්නේද ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාය.
වෛද්‍ය ගයාන් රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග ඒකකයේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි අතර
ඔහුගේ පියාද වෛද්‍යවරයෙකි. ගයාන්ගේ බිරිය වන හර්ෂණී සේනාරත්න යාපා මහත්මියත් දන්ත
වෛද්‍යවරියකි. ඇය රාගම රෝහලට අනුයුක්තව සේවය කළාය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය ප්‍රදීප්
ජයවික්‍රම මහතා මෙසේ කීය.
මෙම වෛද්‍යවරයාගේ මවත් පියාත් නිරෝධායනය වෙමින් තමයි ඉදලා තියෙන්නේ. නිරෝධායන කාලය
අවසන්වෙලා පෙරේදා (01දා) පුතා බලන්න මව හා පියා රෝහලට ඇවිත් තිබුණා. ඇත්තටම මියගිය
වෛද්‍යවරයා රෝගීන්ට ගොඩක් හොඳින් සලකපු වෛද්‍යවරයෙක්. ඔහු රෝගීන් වෙනුවෙන් කටයුතු කළ
වෛද්‍යවරයෙක්. සහෝදර වෛද්‍යවරුන්ටද මේ වෛද්‍යවරයා ගොඩක් උදවු කරන අයෙක්. මානුෂීය
ගුණාංගවලින් හෙබි මෙකී වෛද්‍යවරයාගේ හදිසි වියෝවය ඉතා කනගාටුවට කරුණක්. කොරෝනා ආසාදනය
වීමෙන් පසු මෙම වෛද්‍යවරයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ රෝගී තත්ත්වය
නරක අතට හැරුණා. කරාපිටිය රෝහලේ පමණයි තියෙන්නේ එක්මෝ යන්ත්‍රයක්. මේ තුළින් කරන්නේ ලේ ටික
පිරිසුදු කරලා දෙන එකයි. මේ වෛද්‍යවරයා සතියක් තිස්සේ එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර තිබුණා.
එක්මෝ ප්‍රතිකාර ක්‍රමයෙන් මොහු බේරාගන්න බැරි නම් කොහේ ගෙන ගියත් බේරාගන්න බැහැ යැයි ඔහු
පැවැසීය.
මියගිය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නිතිරීතිවලට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේදී
සිදුකෙරිණි.
ගාල්ල - කමල් විජේහේවා
0 Comments