කොරෝනා වයිරසය ආසාදිත වී තෙල්දෙණිය මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවකට ඇතුළත් කෙරුණු හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩබලිව්.ජී.එම්. මහේෂ් හේමන්ත කුමාර මහතා නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාලය ඇතුළත අනෙකුත් රෝගීන් සමග එක්වී වාට්ටුව පිරිසුදු කිරීම, වැසිකිළිය පිරිසුදු කිරීම සහ රෝගීන්ගේ ඇඳුම් පැළඳුම් සෝදා පවිත්‍ර කිරීමේ කටයුතුවල යෙදී සමාජයට අගනා ආදර්ශයක් ලබාදී ඇත.
තම නිල බලය නොතැකූ ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහතා අනෙක් රෝගීන් වෙනුවෙන් මෙම සද්ක්‍රියාව සිදුකර ඇත්තේ සියලු දෙනාම රෝගීන් හැමදෙනාම මනුෂ්‍යයන් බව සිතමින් බවත් ඔහුගේ මෙම ක්‍රියාව රටටම ආදර්ශයක් බවත් මෙම සිද්ධිය පැවසු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසීය.
වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ අනෙකුත් කොරෝනා රෝගීන් හේමන්ත කුමාර මහතා ප්‍රාදේශීය ලේකම්වරයකු බව දැනගෙන ඇත්තේ ඔහු වාට්ටුවට ඇතුළු වී දින පහක පමණ කාලයකට පසුවය. ඔහු පිළිබඳව දැනගත් වාට්ටුවේ රෝගීන් මෙවැනි කටයුතුවලින් ඉවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත් ඔහු සුවය ලබා රෝහලෙන් පිටව යනතුරුම මෙම කටයුතු සිදුකළ බව කියති. මනුෂ්‍යත්වයෙන් අනූන ආදර්ශවත් මෙම ප්‍රාදේශීය ලේකම්වරයා සම්බන්ධයෙන් තොරතුරු පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාය.
හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහතා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ද වන්නේය. . ප්‍රාදේශීය ලේකම්වරයා කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුවය ලබා පැමිණ තවමත් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේ අප සමග දුරකතනයෙන් සම්බන්ධවෙමින් අප කළ විමසීමේදී මෙසේ කීය.
“අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ 23 වැනිදා පැවැති උත්සවයකට සහභාගි වුණා. අරුන්දික ඇමැතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වූ බව 27 වැනිදා දැනගත්තාට පස්සේ මමත් ස්වයං නිරෝධානයට ලක්වුණා. පසුගිය 01 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගත්තා. වයිරසය ආසාදනය වී ඇති බව 02 වැනිදා දැනගත්තාට පස්සේ මා තෙල්දෙණිය රෝහලේ පස්වැනි වාට්ටුවට ඇතුළත් කලා. මේ වාට්ටුවේ 40ක් 50ක් විතර රෝගීන් ප්‍රතිකාර ලබාගත්තා. මේ කිසිම කෙනෙක් මම ප්‍රාදේශීය ලේකම්වරයෙක් බව දැනගෙන සිටියේ නැහැ. මා කවුද කියා කාටවත් කියන්න ගියේත් නැහැ.
මගේ නිලය ගැන කියන්න අවශ්‍යතාවයක් තිබුණත් නැහැ. කම්කරුවාගේ සිට රජයේ විවිධ නිලතල දරන අය මෙහි ප්‍රතිකාර ලැබුවා. වාට්ටුවෙන් පිටතට ස්ථානයක ඇඳ ඇතිරිලි, කොට්ට උර හා ඇඳුම් පැළඳුම් මහ ගොඩක් ගොඩගසා තිබෙන බව දුටුවා. මේවා ප්‍රතිකාර ලබා සුවවී පිටව ගිය රෝගීන් පරිහරණය කළ ඒවා බවත් දැනගැනීමට ලැබුණා. රෝගීන්ට රෙදි සෝදාගැනීමට රෙදි සෝදන යන්ත්‍රයක් වාට්ටුවේ පැත්තක සවිකර තිබුණා. මම අර රෙදිපිළි, කොට්ට උර, බෙඩ්ෂීට් තොගයම තනියම රෙදි සෝදන යන්ත්‍රයේ වරින්වර දමමින් දින 04 ක් තිස්සේ සෝදා පිරිසුදු කළා. පසුව ඒවා අව්වේ දමා වේලා නවා පිළිවෙළකට තිබ්බා. මුලින්ම කිසි කෙනෙක් මේ වැඩේට සහාය දෙන්න ආවේ නැහැ.
අනෙක් රෝගීන් නිතිපතා වාට්ටු අතුපතුගා පිරිසුදු කිරීම කළා. වැසිකිළි සේදුවා. මමත් ඒ රෝගීන් සමග එකතුවී ඒ වැඩ සේරම කළා. රුධිර කාන්දුකරණය කරන වකුගඩු රෝගී තරුණයකුට කොරෝනා වයිරසය ආසාදනය වී මම හිටිය වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවා. ඔහුට නිතර වමනය යනවා. මම ඔහුගේ වමනය පවා ඉවත්කර පිරිසුදු කළා. මම ප්‍රාදේශීය ලේකම්වරයකු බව රෝගීන් දැනගත්තාට පස්සේ සර් වැඩ කරන්න එපා කියා කියන්නට පටන්ගත්තා. ඒත් කරගෙන ආ වැඩ මම නැවැත්තුවේ නැහැ. ඔවුන් සමග එකතු වී සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන ගියා. අමාරු රෝගීන් මේ වැඩවලට යොදාගත්තේ නැහැ." යැයි ද කීය.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ බිරිඳ එස්.එම්. ප්‍රියංගනී සමරතුංග මහත්මිය ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන අතර ඇයට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතුළත් කර ඇත්තේ තෙල්දෙණිය මහ රෝහලේ කාන්තා වාට්ටුවටය. නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රියංගනී මහත්මිය ද සුවය ලබා පසුගිය 11 වැනිදා නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින්නීය. තවදුරටත් අදහස් දක්වමින් ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේද පැවසීය.
“වාට්ටුව පිරිසුදු කිරීම් වැනි කටයුතු කිරීමට මම ක්‍රමවේදයක් සකස්කර එය අනෙකුත් රෝගීන්ට ඉදිරිපත් කළාම ඔවුන් සැමදෙනා එයට කැමති වුණා. වාට්ටු පිරිසිදු කිරීම්, වැසිකිළි පිරිසුදු කිරීම් කිරීමට රෝගීන් කණ්ඩායම්වලට වෙන්කර නියමිත දින දුන්නා. සතියේ සෑම ඉරිදා දිනයකම කට්ටියම එකතුවෙලා ශ්‍රමදානයක් පැවැත්වුවා. මම හිටිය වාට්ටුවේ සිංහල, දෙමළ හා මුස්ලිම් අය හිටියා. මේ සියලු දෙනාම පුදුම සහෝදරත්වයකින් බැඳී පොදු හැඟීමකින් එකට වැඩ කළා. අපි සියලුදෙනාම එක්වී රෝහලේ වාට්ටුවේ තිබෙන අඩුපාඩු සොයා බලා ඒවා සකස් කළා.
රෝගීන්ට උණුවතුර ලබාගැනීමට යන්ත්‍ර දෙකක් සවිකිරීමට ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා. රෝගී වී සිටි විදුලි කාර්මික මහතෙක් මේ සඳහා සහාය දුන්නා." මහනුවර දිස්ත්‍රික්කයේ සහෝදර ප්‍රාදේශීය ලේකම්වරුන් ද වාට්ටුවේ තිබෙන අනෙකුත් අඩුපාඩු සකස්කර දීමට ඉදිරිපත්ව සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.
තමා සහ බිරිඳ කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගත වූ පසුව සුවය ලබා එනතෙක් මගේ මවට හා අපේ දරු දෙදෙනාට කන්න බොන්න ලබාදී සුවදුක් බැලීමට ආ කන්ගම ග්‍රාමසේවා වසමේ මැරවත්තගමේ සිංහල හා දෙමළ සියලුදෙනාව ද මේ අවස්ථාවේ කෘතඥතා පූර්වකව සිහිපත් කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. තෙල්දෙණිය මහ රෝහලේ කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරන බව ද හේමන්ත කුමාර මහතා සඳහන් කළේය. මෙම තොරතුරු ලබාගැනීමට සහාය වූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට අපගේ විශේෂ ස්තුතිය.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments