ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල ක්‍රියාකාරිකයකු වන ‘කිඹුලා ඇළේ ගුණා’
හා සැඟවුණු වෙඩික්කරුවකු වුණු ‘කෙනඩි නොහොත් බුම්මා’ තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා
පැවැසුවේ කිඹුලා ඇළේ ගුණා, ඔහුගේ පුතා හා බුම්මා යන අය මෙසේ ඉන්දීය පොලිසිය විසින්
අත්අඩංගුවට ගන්නා ලද බවය.

කෙනඩි නොහොත් බුම්මා මෙරට මිනිස් ඝාතන දහයකට ආසන්න ගණනාවක් කළ වෙඩික්කරුවෙකි. අත් දෙකෙන්ම
ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව ඇති බුම්මා එල්.ටී.ටී.ඊ. චාල්ස් ඇන්තනි බළකායේ හිටපු පිස්තෝල
වෙඩික්කරුවෙකි.


පසුව මොහු යුද හමුදාවට භාරවීමෙන් පසු බූස්ස කඳවුරේ රඳවා සිට ඇත. එහිදී සංවිධානාත්මක
අපරාධකරුවකු වන කොස්ගොඩ සුජී නමැත්තා සමඟ සබඳකම් පවත්වන බුම්මා හිරෙන් නිදහස්ව ගොස් කොස්ගොඩ
සුජීගේ උපදෙස් මත බළපිටිය හා කරන්දෙණිය ප්‍රදේශවල මිනිස් ඝාතන කළේය.

සැඟවුණු වෙඩික්කරුවකු ලෙස මිනිස් ඝාතන කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මොහු
අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව යළි බන්ධනාගාරගත වන මොහු හිරෙන් නිදහස්ව පැමිණ මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ
යෙදෙන පූකූඩුකන්නා නමැත්තා සමඟ සම්බන්ධ වී ඔහුගේ උපදෙස් මත මිනිස් ඝාතන කිහිපයක්ම කරන්නට විය.
සෙල්වි හා පූකූඩුකන්නා අතර ඇති ගැටුම නිසා දෙපාර්ශ්වයේ කිහිපදෙනකුම තුවක්කුකරු විසින් ඝාතනය කරන
ලදී. පසුව බුම්මා හොර රහසේ ඉන්දියාවට පැන යන්නේ මෝදර ප්‍රදේශයේ කළ මිනිස් ඝාතන දෙකකට
පොලිසිය ඔහු සොයමින් සිටියදීය.

මේ අතර කිඹුලා ඇළේ ගුණා නමැත්තා වසර 22ක් පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටින අතර එරට සිට
කේරළ ගංජා තොග මුහුදු මාර්ග ඔස්සේ මෙරටට එවීමට කටයුතු කළ අයෙකි.


1999 වසරේ දෙසැම්බර් මස කොළඹ නගර සභා පිටියේදී පැවැති ජනාධිපතිවරණ අපේක්ෂක රැස්වීමකට
සහභාගි වී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කොට එල්ල කළ මරාගෙන මැරෙන
කොටි ප්‍රහාරයෙන් පසු රහස් පොලිසිය කිඹුලා ඇළේ ගුණා සොයන්නට විය. ඒ මරාගෙන මැරෙන
ප්‍රහාරය එල්ල කළ සාමාජිකයන්ට නවාතැන් දීමේ චෝදනාව මතය.

රහස් පොලිසිය සොයද්දී මොහු බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගියේය. පසුව එරට සුඛෝපභෝගී ජීවිතයක්
ගත කරමින් තම පුතාද එරටට ගෙන්වා ගත් ගුණා ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය එවන්නට ක්‍රියා
කළේය.

කිඹුලා ඇළේ ගුණා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක්ද නිකුත්  කර තිබිණ.

තමිල්නාඩු ප්‍රාන්ත පොලිසියක් මඟින් අත්අඩංගුවට ගත් ගුණා හා බුම්මා මෙරටට ගෙනඒමට අවශ්‍ය කටයුතු
මේ වනවිට සම්පාදනය වෙමින් පවතියි.

විදේශ ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හා මිනිස් ඝාතන කරන සෙසු පුද්ගලයන්ද ඉදිරියේදී
ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්
අද්මිරාල් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.



කීර්ති මෙන්ඩිස්, කුමුදු ජයවර්ධන