kohuwala car sale

කොහුවල දුටුගැමුණු මාවතේ පිහිටි වාහන අලෙවි ආයතන තුනක්, සුපිරි වෙළෙඳසලක් ඇතුළු ආයතන හයකට
ගල්වලින් පහරදී එම ගොඩනැඟිලිවලට හා එහි තිබූ වාහන ඇතුළු බඩු බාහිරාදියට රුපියල් ලක්ෂ හතළිහකට
ආසන්න අලාභයක් සිදුකළ බව කියන “ගොංගාලේගොඩ බණ්ඩා” නමින් හඳුන්වන පුද්ගලයකු ප්‍රතිකාර සඳහා
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කරන ලෙස නුගේගොඩ දිසා විනිසුරු නිල්මිණී ෆර්ඩිනැන්ඩු
මහත්මිය ඊයේ නියෝග කළාය.



කොහුවල පොලිසියේ සැරයන් ගුරුගේ (38531) හා පොලිස් කොස්තාපල් හේවාපතිරණ යන නිලධාරීන්
අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සැකකාර පුද්ගලයාව ඉහත කී රෝහල වෙත යොමු කිරීමට එසේ
නියම කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ පෙරේදා (14දා) අලුයම
දෙකට පමණ සැකකාර පුද්ගලයා  එම මාර්ගයේ ගමන් ගන්නා අතරතුර මාර්ගයේ තිබූ ගල් අහුලාගෙන
ඉහත කී ආයතනවල ගොඩනැඟිලිවලට හා එහි වාහන ඇතුළු බඩු භාණ්ඩවලට පහරදී රුපියල් ලක්ෂ හතළිහකට
ආසන්න අලාභයක් සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවත්ය.

මෙම සිද්ධිය සැලවූ සැණින් සැරයන් ගුරුගේ ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස්
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති නමුත් ඔහුගේ අනන්‍යතාවක් තහවුරු කරගැනීමට නොහැකි වූ
බවද තමන් ගොංගාලේගොඩ බණ්ඩා යනුවෙන් එම අවස්ථාවේ ප්‍රකාශ කළ බවද පොලිසිය පැවැසීය.



සැකකාර පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයකු බවට කරුණු අනාවරණය වූ බැවින් ඔහුව කළුබෝවිල
රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නකු බවට
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන් වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පොලිසිය අධිකරණය වෙත දැක්වූ කරුණු හා වෛද්‍ය වාර්තාව පිළිබඳව අවධානය යොමු කළ දිසා
විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන් මඟින් සැකකාර පුද්ගලයා ඉහත කී රෝහල වෙත යොමු කරන ලෙසද
නියෝග කළාය.

කුමුදු උපුල් ශාන්ත