kurunegala covid 19 wedding
කුරුණෑගල අඹන්පොල පැවැති විවාහ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවන අතර
එම වෛරසය වැළඳූන අය අතර ශීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් ඔවුනට වැළඳී ඇත්තේ
නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවට සෞඛ්‍ය අංශ අදහස් පළ කර තිබේ.

පසුගිය ජනවාරි 21 වැනිදා අඹන්පොල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

එම මංගල උත්සවයේ දෙවන දිනය ජනවාරි 24 වනදා අත්තනගල්ලේදී පවත්වා තිබෙන අතර ඒ අනුව දින දෙකටම සහභාගි වූ මුළු පිරිස 260 කට අධික බව අනාවරණ වී ඇත.


ආසාදිතයින් ලෙස හඳුනාගත් 136 දෙනා අතරින් 96 දෙනෙකුම මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ අය වන අතර සෙසු ආසාදිතයින් 40 දෙනා අඹන්පොළ ප්‍රදේශයේ අය වෙති.

මෙම කොවිඩ් පොකුර වාර්තා වීම ආරම්භ වී තිබෙන්නේ දින දෙකටම සහභාගි වූ මනාලයාගේ ඥාතියෙකු රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීය.

අනතුරුව පළමු දිනයේ උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදී එම 15 දෙනාම ආසාදිතයින් බව තහවුරු වුණි.

තවත් 100 කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත අතර දැනට හඳුනාගත් ආසාදිතයින් 136 දෙනාගේ ආශ්‍රිතයින් 450 දෙනෙක් පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙයි.


එම උත්සවයට සම්බන්ධ වූ අඹන්පොළ ප්‍රදේශයේ ආසාදිතයින් 40 දෙනා හඳුනාගෙන තිබුණේ PCR පරීක්ෂණ 59 කින් වන අතර එය සියයට 67ක වැනි ඉහළ ආසාදිත ප්‍රතිශතයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ කීය.

“මහජනතාව හිතනවා දැන් කොවිඩ් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. මේක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. හැමදාම පැමිණිලි කරනවා. එතකොට අපි වැඩිකරලා දුන්නා 150 කට. අපි මෑතකදී දැකපු දෙයක් තමයි හුඟාක් තැන්වල වෙඩින් නිසා තමයි එක පාරට පොකුරු ඇති වෙනවා. මොකද සියලුදෙනාම වෙඩින් එකේ මුල ටිකේ ඉන්නවා මාස්ක් එක දාගෙන. ඊට පස්සේ කන්න බොන්න ගියාට පස්සේ මාස්ක් කොහේවත් නෑ. මෙතනින් තමයි පටන් ගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බනිනවා මේක පාලනය කරන්නේ නෑ කියලා. මිලියන 21 වෙච්ච ජනතාව පස්සේ අපිට ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නෑ. අපිට මහජනතාව වශයෙන් වගකීමක් තියෙනවා අපේ හැසිරීම ගැන.“