matara-teacher-incident

විනය හෝ කිසිදු  හේතුවක් මත දරුවෙකු හිංසාවට පත් නොකළ යුතු යැයි අවධාරණය කළ  ශ්‍රේෂ්ඨාධිකරණය, මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවකුගේ කනට ගසා බරපතළ හානි කිරීමෙන් සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ එම පාසලේ විනය භාර  ආචාර්යවරයාට සහ රජයට රුපියල් ලක්‍ෂ 6 1/2ක වන්දි ගෙවීමට නියම කළේය.  පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර  ආචාර්යවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 1  1/2ක්ද, රජයෙන් රුපියල් ලක්‍ෂ 05ක්ද වශයෙන් අදාළ රුපියල් ලක්‍ෂ 06 1/2ක වන්දිය ගෙවීමට නියම කළ  ශ්‍රේෂ්ඨාධිකරණය එම වන්දි මුදල් මාස 06ක කාලයක් තුළ ගෙවීමටද නියම කෙරිණි.




ළමා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුතීන්ට පවා අත්සන් කර ඇති ශ්‍රී ලංකාව තුළදී දරුවාගේ සම්පුර්ණ ජීවිත කාලයේදීම අත්විඳීමට සිදුවන ස්ථිර  ශ්‍රවණාබාධි තත්වයකට පත් වන අන්දමට දරුවාගේ කණට ගුරුවරයා විසින් පහරදීමෙන් දරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. සිසිර ද ආබa, එස්.  තුරෛරාජා සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් අනතුරුව සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා මහතා විසින්   මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.


මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි  සිසුවෙකු වෙනුවෙන් ඔහුගේ  දෙමවුපියන් වන හේවා මද්දුමගේ කරුණාපාල සහ පල්ලේ කම්කානම්ලාගේ  දෝන කුමුදුනී විසින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.  එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන හා එම විද්‍යාලයේ විදුහල්පතිනී එම්. ලීලාවතී යන මහත්ම මහත්මීන් ඇතුළු 06දෙනෙකු නම් කර තිබිණි.  2017 වර්ෂයේදී මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ  පෙත්සම්කාර දෙමවුපිය යුවළගේ දරුවා පාසලේ වගා කටයුතු සිදු කරන

අවස්ථාවේ එහි තාප්පය අසල බෝක්කුවක් මත වාඩි වී සිටියේයැයි කියමින් වගඋත්තරකාර පාසලේ විනය භාර ගුරුවරයා විසින්  ඔහුගේ කනට ගසා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය.


එලෙස පහරදීමට මතෙන් දරුවාගේ ශාරීරික අපහසුතා පිළිබඳ පාසල් බලධාරීන් සැලකිල්ලට භාජනය කර නොමැති බවද වැඩිදුරටත් අනාවරණය වූ බව එහිදී හෙළි විය. සිසුවාගේ කණ හරහා එල්ල කර ඇති පහරින් ඔහුගේ ජීවිත කාලය පුරාම  ස්ථිර අඩු ශ්‍රවණාබාධ තත්ත්වයකට පත්වන බවට  වෛද්‍ය වාර්තා අනුව සනාථ වන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර ඇත.  විනය හෝ කිසිදු හේතුවක් මත දරුවෙකු හිංසාවට පත් නොකළ යුතු යැයි අවධාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහරදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය මගින් සහතික කර කෘෘර වද හිංසාවලට ලක් නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇතැයිද එම තීන්දුවේ සඳහන් කර තිබේ.  මේ තත්වය මත වගඋත්තරකාර පාසල් ගුරුවරු විසින් දරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණ කළ අධිකරණය අදාළ වන්දි මුදල් නියම කෙරිණි.  පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනීසිටියේය.


 බුද්ධිමාල් රුබේරු