නුගේගොඩ නගර මධ්‍යයේ නිවාඩු නිකේතනයක් මූලස්ථානය කරගෙන හෙරොයින් සහ අයිස් ජාවාරම් කළ එහි කළමනාකරු රුපියල් කෝටි 10 ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග  ඊයේ (16 දා) පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



 අත්අඩංගුවට ගත් කළමනාකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු හෙළිවී තිබේ. මෙම ජාවාරමට පොලිස් කොස්තාපල්වරයකුද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
 
 නුගේගොඩ නගර මධ්‍යයේ නිවාඩු නිකේතනයක් මූලස්ථානය කරගෙන විවිධ ප‍්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහරින බවට සංවිධානාත්මක අපරාධ අංශයට ලැබුණු තොරතුරු මත මාස කිහිපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සිදුකර තිබේ.



 සැකකරු සමග හෙරොයින් කිලෝ 4 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම ස්ථානයේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් වෙනත් ස්ථානයකට ප‍්‍රවාහනය කර ඇතැයි පොලිසිය සැක කරයි.
 
 සංවිධානාත්මක අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා සහ  මහරගම එස්.ඩී අබේසිංහ