පදවි-පරාක්‍රමපුර විවිධසේවා සමුපකාර සමිතිය  මගින් පදවියේ නීරෝධායනය වන පවුල් සඳහා ලබාදෙන වියළි සලාක මල්ලේ ඇතුළත් වියයුතු නියමිත හාල් ප්‍රමාණය වංවනීක ලෙස අඩුකර ලබාදීම සම්බන්ධයෙන්  අනුරාධපූර පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පදවියේ සමුපකාර තොග ගබඩාව හදිසි වැටලීමකට ලක් කළහ. නියමිත බරට අඩු හාල් කිලෝ ග්‍රෑම් පහේ පැකට් 46 ක් හා කිලෝ ග්‍රෑම් 10යේ පැකට් 01ක් මෙහිදී සොයාගත් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඩී.ඒ.සී.පී පෙරේරා මහතා ඇතුළු නිලධාරිහු එම සහල් පැකට් වලට මුද්‍රා තැබූහ.



එම සහල් පැකට්වල හාල් කිලෝ ග්‍රෑම් එකක් බැගින් අඩු බව මෙහිදී අනාවරණය විය.  නිරෝධායනය වෙමින් සිටින පවුල් 54ට බෙදා දී ඇති සහල් පැකට් තුනක් ද බර මිනුම් කිරීමේදී එහි ද හාල් කිලෝ ග්‍රෑම් එක බැගින් අඩු වී ඇති බව පාරිභෝගික නිලධාරින්ට අනාවරණය විය. පසුගියදා බෙදා දෙනු ලැබූ රුපියල් 5000 වියළි සලාක මල්ලේ අඩංගු සහල් පැකට්වල නියමිත කිලෝ ප්‍රමාණය නොමැති බවත් ටින් මාළු පරිභෝජනයට සුදුසු නොවන බව ඇතැම් පවුල් දැනුම් දීම නිසා පදවිය ප්‍රාදේශීය ලේකම්  ජේ. රලියුදීන් මහතා අනුරාධපුර පාරිභෝගික නිලධාරීන්ට සිදුකළ දැනුම් දීමකට අනුව මම වැටලීම සිදු විය.

පදවිය සමුපකාර සමිතිය නියමිත හාල් ප්‍රමාණයට අඩු සහල් පැකට් ගත්තේ යැයි කියන පදවිය බුද්ධංගල පෞද්ගලික මෝල ද වැටලූ පාරිභෝගික නිලධාරින්ට නියමිත හාල් කිලෝ ග්‍රෑම් ප්‍රමාණයට අඩු සහල් පැකට් එහිදී හමු වූයේ    එකී මෝල් හිමියා අනුරාධපුර පාරිභෝගික නිලධාරීන්, පදවිය ප්‍රාදේශීය ලේකම්, පදවිය පොලිස්  ස්ථානාධිපති හා අප ඉදිරියේ මෙසේ ප්‍රකාශයක්  කළේය.  

‘මට පදවිය සමුපකාර  ගබඩා පාලක තරංග කිව්වා හාල් ටිකක් හදිසියේ ඕනෑ. හැබැයි කිලෝ  9යේ හා හතරේ වශයෙන් උරවල දාන්න කියලා.

මම කිව්වා එහෙනම් ෂොපින් බෑග්වල දාලා දෙන්නම් කියලා. තරංග ඒකට කැමැති වුණේ නැහැ. අනේ මගේ මුද්‍රිත උරවලම දාලා දෙන්න කීවා. ඉතා හදිස්සියි කියලා. ඉතිං මම කිලෝ එක එක අඩුවෙන් 10යේ හා 5හේ පැකැට් වල ඇසුරුම් කර දුන්නා. මට මුදල් දුන්නේ මගේ හාල් ප්‍රමාණයට විතරයි. මම හිතාමතා වැරැද්දක් කළේ නැහැ. ‘ මෝල් හිමියා පැවසීය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ  අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඩී.ඒ.සි. පී. පෙරේරා මහතා මෙසේ කීය.

පදවිය සමුපකාර තොග ගබඩාවේ නියමිත බර නැති සහල් පැකට් 47ක් පමණ බෙදා හැරිම නවතා තබා මුද්‍රා කළා. පෞද්ගලික මෝල් හිමිකරුට විරුද්ධව ලබන සතියේ අධිකරණ කටයුතු සිදු කරනවා. ඒ වගේම පදවි පරාක්‍රමපුර විවිධ සේවා සමුපකාර සමිතියේ වගකිවයුතු නිලධාරින් සම්බන්ධ තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. ඒ පිළිබඳව පදවිය ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරනවා. ළඟදීම මෙයට වගකිවයුතු අය අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටිනවා යැයිද පැවසීය.

පාරිභෝගික අධිකාරිවරයා සමග පාරිභෝගික විමර්ශන නිලධාරින් වන එස්.එම්. මුපාරිස් මහතා සහ ඩබ්ලිව්.ඩී.එස්. චතුරානි මහත්මියද වැටලීම සඳහා සහභාගි වූහ.  පදවිය ප්‍රාදේශීය ලේකම් ජේ. රලියුදීන්, පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩබලිව්.ඩබලිව්. කුමාරසිරි මහත්වරුද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

පදවිය - පියදාස සමරවීර