පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් කළ ඝාතනයේ ඉලක්කය හරි හැටි හඳුනා
නොගැනීම නිසා සිදුවූවක් බව මේ වන විට කරන ලද පුළුල් විමර්ශනයකදී අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව ඝාතනය කිරීමට නියමිත ඉලක්කය වී තිබුණේ මැරුම් කෑ ‘ලකා’ නොව ත්‍රිරෝද රියේ පිටුපස සිටි
අනෙක් පුද්ගලයා වන ‘චතු’ නමැත්තා බව විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත.
චතුරංග නොහොත් චතු නමැත්තා සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් විමර්ශන කණ්ඩායම ප්‍රශ්න කිරීමෙන්
අනතුරුව මුදාහළ අතර ඒත් සමඟම ‘චතු’ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට
ගන්නා ලදී.
මේ වනවිටත් ‘චතු’ රඳවාගෙන එම ඒකකය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ලලිත් අබේසේකර හා පොලිස් අධිකාරි රොහාන්
පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
ජයන්ත පෙරේරා හා පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායමක් මඟින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී
ලක්ෂාන් ඝාතනය පිළිබඳ සත්‍ය තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත.
ඝාතනය විදේශ ගතව සිටින පානදුරේ සලිඳු නමැත්තා විසින් දෙනු ලබන කොන්ත්‍රාත්තුවක් මත කළුතර
බන්ධනාගාරයේ සිටි සුද්දා මෙහෙයවා ඇති බව අනාවරණය කර ගැනීමටද නිලධාරීන්ට හැකිවිය. සුද්දා
ඝාතනය මෙහෙයවා ඇති දුරකථනයද මේ වන විට මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සතුව ඇත.
ඒ පිළිබඳ මේ වනවිට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන ඇති අතර එම වාර්තාවට අනුව ඩුබායි
රාජ්‍යයේ සිට සලිඳු විසින් දෙනු ලබන දුරකථන ඇමැතුම් හා සුද්දා ඔහුට දුන් ඇමැතුම් ඇතුළු ඝාතනය
සිදුකළ තුවක්කුකරුවන් සමඟ පැවැති සබඳකම් සහිත ඇමැතුම් රාශියක් විමර්ශන නිලධාරීන් සතුව ඇත.
මේ පිළිබඳව කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ පානදුරේ සලිඳු නමැත්තා මීට කලින්ද ‘චතු’ නමැත්තා
ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවය. සලිඳු තම නයින් එම්.එම්. ගිනි අවිය චතුගේ හිස මත තබා ‘තෝව
මං මරනවා’ යනුවෙන් පවසා ඇති බව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ‘චතු’ හෙළි කර ඇත.
දැනට කර ඇති විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු මෙසේය.
‘චතු’ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකි. ඒ වනවිට
පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සලිඳු විසින් කරගෙන යමින් තිබිණි.
ලක්ෂාන් ගල්කිස්සේ වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ධීවර රැකියාවේ නිරතවූවෙකි. ඔහු
ධීවර රැකියාව සඳහා බෝට්ටුවලින් ගමන් කරද්දී කේරළ ගංජා ජාවාරම කර ඇත. මහ මුහුද මැදදී
කේරළ ගංජා තොග ලක්ෂාන්ගේ බෝට්ටුවට පැටවෙන අතර එම කේරළ ගංජා මෙරට වෙරළට ගෙන ඒම
ලක්ෂාන් විසින් කරනු ලබයි.
ඒ සඳහා කේරළ ගංජා ජාවාරමේ යෙදෙන පාර්ශ්වය එක ටි්රප් එකක් සඳහා ලක්ෂ දෙකක මුදලක්
ලක්ෂාන්ට ගෙවනු ලබයි.
ධීවර රස්සාව අතරතුර කෙරෙන කේරළ ගංජා ජාවාරමේ නිරත වූ ලක්ෂාන් වෙඩිකන්ද අතහැර පානදුර,
හිරණ ප්‍රදේශයට එන්නේ වෙඩිකන්ද අවට කිහිපදෙනකුට තිබූ ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසාය.
ඒ වන විට චතුත් ලක්ෂානුත් දැන නොදැන සිටියද දෙදෙනා අතර මිතුරුකමක් ඇති වන්නේ දිනක් මුහුදේ
දියනාමින් සිටියදී චතු රැල්ලට ගසාගෙන යද්දී ලක්ෂාන් ඔහු බේරාගැනීමට කටයුතු කිරීම නිසාය.
මින් පසු මේ දෙදෙනා අතර මිත්‍රකමක් ඇති වන අතර ලක්ෂාන් පානදුරට පැමිණ චතුගේ නිවෙසට නුදුරින්
සිය බිරිය සමඟ පදිංචි වීමත් සමඟ දෙදෙනාගේ මිතුරුකම තවත් වැඩි වන්නට විය.
මේ කාලය තුළදීත් චතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අතර මේ නිසා චතුට කිහිපවතාවක්
බන්ධනාගාරගතවීමටද සිදුවිය. මේ අතර ලක්ෂාන් නොදැනුවත්වම චතුට මරණ තර්ජන පවා එල්ල වී තිබිණි.
ඒ ‘සලිඳු’ගෙන්ය.
සලිඳුට අවශ්‍ය වූයේ පානදුර ප්‍රදේශය සියතට ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමය. සෙසු
පාතාල හා මත්ද්‍රව්‍ය නායකයන් මෙන් පානදුර ප්‍රදේශයේ පාතාල කෙරුමා වීමටය. පානදුර හා ඒ
අවට බෙදන්නේ සලිඳුගේ කුඩුය.
සලිඳුගේ කුඩු බෙදාහැරීම කරන්නේ සුද්දාය. ඔහු ගෝලබාලයන් යොදා ගනිමින් සලිඳුගේ කුඩු පානදුර හා ඒ
අවට බෙදාහරිනු ලබයි.
කාලය මෙසේ යද්දී සුද්දා තවත් අයකු සමඟ මතුගමදී පොලිසියට කොටුවන්නේ කුඩු කිලෝවකටත් වැඩි
ප්‍රමාණයක් සමඟය. විමර්ශන කිරීමෙන් පසු සුද්දා රිමාන්ඩ් බන්ධනාගාරගත වන අතර පොලිසිය මෙම කුඩු
සලිඳුගේ බවට අනාවරණය කර ගැනීමත් සමඟ සලිඳු කොටුකරගන්නට වෙහෙසුණේය.
මේ බව දැනගත් සලිඳු නීති විරෝධී ආකාරයට මෙරටින් පලායන අතර දැනගන්නට ඇති පරිදි ඔහු ඩුබායි
රාජ්‍යයේ සිටින බව කියයි. ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මෙවන් පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍ය
ජාවාරමෙන් මුදල් හරි හම්බ කර ගැනීම කරයි. සලිඳුද එවැනි ජාවාරම්කරුවන් සමඟ සබඳකම් පවත්වමින්
මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වන අතර කළුතර බන්ධනාගාරයේ සිටි ‘සුද්දා’ විසින් මෙම
මත්ද්‍රව්‍ය ගෝලබාලයන්ගේ ආධාරයෙන් කරනු ලබයි.
සලිඳු මෙරට රැඳී සිටියදී පානදුර ප්‍රදේශයේ කුඩු ජාවාරම් කරගෙන යද්දී දේවින්ද නමැත්තකු ගල්කිස්ස,
අත්තිඩිය හා බඩෝවිට යන ප්‍රදේශ ආවරණය වන පරිදි මත්කුඩු ජාවාරම කරගෙන යන්නට විය.
සලිඳු සමඟ මත්කුඩු ව්‍යාපාරයට හවුල් වූ ‘චතු’ ඉන් අනතුරුව දේවින්ද සමඟද එකතු වී පානදුරේ තැන්
තැන්වලට කුඩු බෙදීම සිදුකරන්නට විය.
වැඩිකලක් යන්නට මත්තෙන් සලිඳු මේ බව දැනගන්නා අතර වහා පානදුරට කුඩු විකුණන එක නතර කරන
ලෙස චතුට තර්ජනය කරන සලිඳු ඉන් අනතුරුව ඔහුට මරණ තර්ජනය පවා එල්ල කිරීමට පෙළඹේ.
මේ බව දැනගන්නා ‘චතු’ සලිඳුගේ මිතුරන් මාර්ගයෙන් සලිඳුගෙන් ඇපයක් ලබා ගැනීම උදෙසා සලිඳු
පදිංචිව සිටි පානදුර, අරුක්ගොඩ නිවෙසට යන අතර සලිඳුගේ මිතුරෝ චතු හා සලිඳු සමාදාන කිරීමට දැඩි
උත්සාහ ගන්නට වූහ.
එහිදී තම නයින් එම්.එම්. පිස්තෝලය අතට ගන්නා සලිඳු “මුං එක්ක ආවේ නැත්නම් මම තෝව මරනවා.
දැන්මම ඔය ඩබල් ගේම නතර කරපන්” යනුවෙන් චතුට තර්ජනය කරන අතර කොයි මෙහොතක හෝ තමාට
කිසියම් අනතුරක් සිදුවෙතැයි යන සැකය මත චතු වැඩිදුර එළියට නොපැමිණ ජීවත්වීමට පුරුදුවන්නට විය.
කෙසේ වෙතත් සලිඳු මෙරටින් පැනයෑමත් සමඟ දේවින්දගේ ‘කුඩු’ පානදුර හා ඒ අවට බෙදාහැරීමට
‘චතු’ ගන්නා උත්සාහය දැනගන්නා සලිඳු කෙසේ හෝ චතු මරා දමන්නට තීරණය කරන්නට විය. ඒ අනුව
චතුගේ ක්‍රියාකලාපය හිරගෙදර සිටින තම මිතුරා වූ සුද්දාට පවරන සලිඳු ඒ සඳහා අවශ්‍ය මුදල් ඔහු
එවන බවටද පොරොන්දුවක්දී ඇත. ඒ අනුව චතු ඝාතන සැලැස්ම කළුතර බන්ධනාගාරයේ සිට සුද්දා විසින්
මෙහෙයවනු ලබන අතර ‘චතු’ ඝාතනයට අවශ්‍ය තුවක්කුකරුවන්ද සුද්දා විසින් දුරකථන මාර්ගයෙන්
සංවිධානය කරනු ලබන්නේය.
“ඔය අතරේ තමයි සුද්දා හිරගෙදර ඉඳලා පානදුර ගඟුල ඉන්න පුද්ගලයකුට කතා කරලා මෙන්න මෙහෙම
දෙන්නෙක් එවනවා, උන්ට දවස් පහක් ඉන්න තැනක් සෙට් කරලා දීපන් කියලා කියන්නේ. මේ කතාව
කියන්නේ ගඟුල ප්‍රදේශයේ ඉන්න විශ්‍රාම ගිය ජේලර් කෙනකුගේ පුතෙකුට. මිනිහා කුඩුවලට ඇබ්බැහි වුණු
කෙනෙක්. හිරේත් ගිහින් තියෙනවා පොලිසියෙන් කුඩුත් එක්ක අල්ලලා.”
ඒ කීමට අනුව ජේලර්ගේ පුතා එයාලා ඉන්න ගෙදර ආසන්නව තියෙන එයාලගේම ඇනෙක්ස් එක්ක දෙනවා.
මේ දෙන්නට ඉන්න රුපියල් දහදාහක් ගන්නවා.”
අර දෙන්නා ඒ ඇනෙක්ස් එකේ නතරවෙලා යනවා එනවා. බයික් එකේ තමයි මේ දෙන්නා මෙහෙ එන්නේ.
මෙයාලා එළියට යනකොට යන්නෙත් ජැකට් දාලා ෆුල්ෆේස් හෙල්මට් දාගෙන. අල්ලපු ගෙදරක ඉන්න අයත්
මේක දකිනවා. ඒත් ඉතින් කාටත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.
මේ දෙන්නට අවශ්‍ය කෑම බීම ගෙනත් දෙන්නේ හිරගෙදර ඉන්න සුද්දාගේ සහෝදරයෙක් කියන රංකැටියා.”
විමර්ශන පවත්වන ජේයෂ්ඨ නිලධාරියෙක් කීවේය.
ඒ අනුව චතු ඝාතනයේ වගකීම නාඳුනන දෙදෙනාට පැවැරෙන අතර ඒ අනුව ජේලර්ගේ පුතා විසින් සකස්
කර දෙනු ලබන ඇනෙක්සියේ සිටි මොවුන් ඉකුත් 25 වැනිදා උදෑසන පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ ගමන්
කරමින් තිබූ ත්‍රිරෝද රිය ඉලක්ක කරගන්නේ ඔවුන්ට දුරකථන මාර්ගයෙන් ‘චතු’ නමැත්තා ත්‍රිරෝද රියේ
සිටින බවට දුන් ඔත්තුවට අනුවය.
ත්‍රිරෝද රිය පසුපස හඹා යන තුවක්කුකරුවන් ත්‍රිරෝද රියේ සිටි පුද්ගලයන් සිගරැට්ටුවක් මිලදී ගැනීමට
කඩයක් අසල නතර කරන්නට යද්දී පාර හරස් කර ත්‍රිරෝද රියේ පිටුපස සිටින පුද්ගලයකුට වෙඩි තබන්නේ
ඔහු ‘චතු’ බවට පෙන්වා දුන් පසුවය.
“අරූ... අරූ... උෟට තියපන්”
මෝටර් සයිකලය පැදගෙන පැමිණි තැනැත්තා තුවක්කුකරුට එසේ කියද්දී තුවක්කුකරු එක් උණ්ඩයක් මුදා හැර
තිබූ අතර එය ඒ වන විට ලක්ෂාන්ගේ පාදයට වැදී තිබිණි. ඒ සමඟම ගිනි අවිය ‘ලොක්’ වන අතර
තුවක්කුකරු තම සගයාගෙන් නයින් එම්.එම්. ගිනි අවිය ඉල්ලුවද සැණෙකින් යළි අත ඇති තුවක්කුව ක්‍රියාත්මක විය.
ලක්ෂාන් වෙඩි වැදී ත්‍රීවීලරය තුළම මැරී වැටෙද්දී චතුත් ත්‍රීවීලර් රියැදුරාත් පලා යන්නේ මරණ බියටය.
පසුව කරන ලද විමර්ශනයේදී පානදුර උතුර පොලිස් කණ්ඩායම චතු හා ත්‍රිරෝද රථ රියැදුරාගෙන් දීර්ඝ
ලෙස ප්‍රශ්න කරන අතර චතුගේ හා අනෙකාගේත් මැරුම් කෑ ලක්ෂාන්ගේත් දුරකථන භාරයට ගෙන
ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව ‘චතු’ නමැත්තා මුදා හරින්නට විය.
ඒ සමඟම ‘චතු’ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු මේ
වන විටත් රඳවා ප්‍රශ්න කරගෙන යයි. මෙම ප්‍රශ්න කිරීමේදී චතුට මීට කලිනුත් තිබූ ජීවිත තර්ජන
හමුවේත් ඔහු දේවින්ද නමැත්තාගේ මත්කුඩු විකිණීම මත ඇති වූ ප්‍රශ්න නිසාත් කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ
චතු මරා දමන්නට බව හෙළි වන බව මිරිහාන අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
“අපි මුලින් හිතුවේ ලක්ෂාන් මරන්න තමයි මේක කළේ කියලා. මොකද ලක්ෂානුත් තව තුන් දෙනෙක් එක්ක මහ
පරිමාණයේ කේරළ ගංජා ලෝඩ් තුනක් ගෙනත් තිබුණා. කිලෝ 300ක විතර ඩීල් එකක්.”
“ඒ බිස්නස් එක නිසා ලක්ෂාන්ට ලක්ෂ පහකුත් දෙන්න තිබුණා. ඒක ලක්ෂාන් ඒ අයගෙන් ඉල්ලා තිබුණා. අපි
ඒ පාර්ශ්වයෙනුත් ප්‍රශ්න කළා. එයාලට ලක්ෂාන්ව මරන්න වුවමනාවක් තිබුණේ නැති බව අපට අනාවරණය
වුණා. ඒ නිසා තමයි විමර්ශනයේදී අපි තීරණය කළේ මේක ලක්ෂාන් මරන්න ගහපු ගේමක් නෙවේ කියලා.”
“ඇත්තටම අපේ වචනයෙන් කිව්වොත් මේක ස්පෙෂල් ඩියුටියකට ආව දෙන්නෙක් ගහපු ගේමක්.
මේ දෙන්නට කොන්ත්‍රාත් එක දුන්නට මේ දෙන්නම දන්නේ නැහැ ‘චතු’ කවුද ‘ලක්ෂාන්’ කවුද කියලා.
අනෙක ත්‍රීවීලර් එකේ හිටිය ඔක්කොම මාස්ක් දාලානේ හිටියේ. හරියට අඳුරගන්නත් බැහැනේ. ඒ නිසා
උන්ට වරදින්න ඇති.”
විමර්ශන නිලධාරියා සඳහන් කළේය.
“අපි මේ විමර්ශනයේදී අනාවරණය කර ගත්තා මේක හිරගෙදර ඇතුළේ ඉඳන් සුද්දා කියන පුද්ගලයා කළේ
කියලා. ඒත් එක්කම අපි බන්ධනාගාරය දැනුවත් කරලා සුද්දා හිටිය හිරකුටිය චෙක් කළා. එතැනදී අපිට
සුද්දා ‘හිරගෙදර’ ඇතුළේ ඉඳන් මේ ගේම ගහපු හෑන්ඩ් ෆෝන් එක හොයා ගත්තා. අපි ඒ විස්තර
විමර්ශනය කරනවා. වැදගත් තොරතුරු රාශියක් හෙළිවෙලා තියෙනවා. අධිකරණ නියෝග මත සුද්දාගෙන්
ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නිශ්චිත වශයෙන්ම දැනගත හැකි වේවි ලක්ෂාන්ද චතුවද
මරන්න ආවේ කියලා.”
හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ඝාතනයට උපයෝගි කරගත් ටී _ පනස් හය ගිනි අවිය ගල්කිස්ස
කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී
සොයාගත් අතර ඝාතනයට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය බොල්ගොඩ ගඟට දමා තිබියදී සොයාගැනීමට
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකිවිය.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත
ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, පානදුර කොට්ඨාස භාර
ජේයෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ
විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ප්රමුඛ කණ්ඩායමද විමර්ශන සිදුකළ
අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ප්රමුඛ පොලිස් පරීක්ෂක
හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳ විමර්ශන පවත්වමින් සිටිති.
කීර්ති මෙන්ඩිස්
0 Comments