පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාරු ගම්මානයට මීට වසර 25කට පමණ පෙර කොටි ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකදී මියගිය තම මව හා සහෝදරයන් දෙදෙනාගේ සිරුරුවලට යටවී දිවි බේරාගැනීමේ වාසනාව හිමිවූ එවකට වයස මාස 1 1/2ක් වූ බිළිඳකු මේ වනවිට 25 හැවිරිදි ජව සම්පන්න තරුණයකුව යුද හමුදාවට බැඳී සේවය කරන සිද්ධියක් වනාතවිල්ලුව ග්‍රාමයෙන් අසන්නට ලැබිණි. වනාතවිල්ලුව, අරුවක්කාරු ප්‍රදේශයේ පදිංචි දිනේෂ් අකලංක මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක්ව සිටී.
එදා කොටි ත්රස්තවාදීන් අරුවක්කාරු ගම්මානයට එල්ල කළ ප්‍රහාරයෙන් අකලංකගේ පවුලම විනාශ විය. එවකට මාස 1 1/2ක් වූ බිළිඳු අකලංක තම මවගේ හා සොහොයුරන්ගේ සිරුරුවලට යටවිය. යටවී සිටී බිළිඳා නොදුටු ත්රස්තවාදීන් එතැනින් ඉවත්ව යද්දී ඔහු බේරාගත්තේ ඔහුගේ සීයාය. (මවගේ පියා). මියගිය අයකු මෙන් සිටීම නිසා කොටින්ගෙන් බේරුණු ලියනගේ සෝමපාල නමැති (අකලංකගේ මවගේ පියා),
ආබාධිතයෙකි. කකුලක් අහිමි ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන් කරනෙකි. කොටි ප්‍රහාරයෙන් ජීවිතය බේරාගැනීමට වාසනාව හිමි වූ පින්වත් පුංචි කිරිකැටියා අනේකවිධ දුක්ගැහැට විඳ ලොකු මහත් කරගත් එම ගමේම පදිංචි 72 හැවිරිදි ජේන් මැටිල්ඩා (72) මහත්මිය සිය මතකය අවදි කරමින් මෙසේ කීවාය.
“අපේ ගමට 1996 වසරේ ජුලි මාසයේ 11 වැනිදා මහ රෑ කොටි ගැහැව්වා. එකම පවුලේ අට දෙනකු ඇතුළු 14 දෙනෙක් ඒ කොටි ප්‍රහාරයෙන් මිය ගියා. මියගිය අය අතර මගේ ලේලි රේණුකා දමයන්ති (අවු. 31), එයාගේ අවුරුදු 10ක් හා 7ක් වයස පුතුන් දෙදෙනාත් සිටියහ. කුඩා දරුවන් දෙන්නට දස වධ දීලා තමා මරා දමා තිබුණේ. අකලංකගේ සීයා ලියනගේ සෝමපාල. ඒ කියන්නේ අකලංකගේ අම්මාගේ තාත්තා. එයාගේ එක පාදයක් ඒ වෙනකොටත් ශල්‍යකර්මයකින් ඉවත් කරලා තිබුණේ. කොටි ප්‍රහාරයෙන් සෝමපාලත් බේරුණා. අකලංක එයාගේ මවගේ සහෝදරයන් දෙදෙනාගේම සිරුරුවලට යටවෙලා ඉන්නවා ඒ සිරුරු පෙරලා බලද්දී සෝමපාල දැක තිබෙනවා. ඒ වෙනකොට අකලංකගේ වයස මාස 1 1/2ක් විතර වෙනවා.
පුංචි අකලංක මියගිය මවගෙන් කිරි උරා බොමින් ඉඳලා තියෙන්නේ. ඒ බව සෝමපාල අපිත් එක්ක පසුව කිව්වා. සෝමපාල මීට වසර පහකට විතර කලින් මියගියා. කොටි ප්‍රහාරයේදී සෝමපාල මැරුණ විදියට හිටපු නිසා ජීවිතය බේරුණා. කොටි පහරදීලා ගියාට පස්සේ සෝමපාල ඇඳ සිටි සරම ගලවා මාස 1 1/2ක් වයස අකලංක ඒ තුළ දමාගෙන හතරකොන් ගැට ගසා එය කටින් හපාගෙන කිහිලිකරු ආධාරයෙන් කොටින්ගේ වෙඩි හඬ මැද්දේ යට ඇඳුම පිටින් කළුවරේ යද්දි සරමේ දමා කටින් එල්ලාගෙන ගිය අකලංකව දිය කඩිත්තකට වැටී තිබෙනවා. ඒ දිය කඩිත්තෙන් ගොඩට අරගෙන ඇවිත් තමා අකලංකව එදා බේරාගත්තේ” යැයි ජේන් මැටිල්ඩා මහත්මිය හැඬුම්බරව කීවාය.
“එදා ඉඳන් අකලංක ලොකු මහත් කරලා මේ තත්වයට ගෙනාවේ මමයි,මගේ මහත්තයා චන්ද්‍රසේනයි. අකලංක අද ඉන්න තැන ගැන අපි දෙන්නා හරියට සතුටු වෙනවා. ඒ වගේම අකලංක අදටත් අපිට හරිම ආදරෙයි. අපිව රැකබලාගන්නේ ඔහු. පුතාට හොඳ බිරිඳක් මේ වෙනකොට ලැබි තිබෙනවා. ඒ ගැනත් ලොකු සතුටක් අපිට තිබෙනවා" යැයි ද මැටිල්ඩා මහත්මිය තවදුරටත් කීවාය. ගමට කොටි ගැහැව්වාට පස්සේ හිටපු ඇමැතිවරයකු වන පෙස්ටස් පෙරේරා මහත්තයාගේ බිරිඳ ලැරින් පෙරේරා නෝනා ගම බලන්න ආවා.
අකලංකව දැකලා කතාව අහලා වාසනාවන්ත දරු පැටියෙක් කියලා දරුකමට හදාගන්න ඉල්ලුවා. සෑම සැප සම්පතක්ම දෙන්නම් කියා නෝනා කිවා. නමුත් අපි දරුවා දෙන්න කැමැති වුණේ නැහැ" යැයි අකලංකව කුඩා කාලයේ සිට තමාගේම ලෙයින් උපන් දරුවකු ලෙස හදාවඩාගත් ආර්.ඒ. චන්ද්‍රසේන (80) මහතා පැවැසීය.
අරුවක්කාරු රජයේ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අකලංක වනාතවිල්ලුවට බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ ද ඉගෙනුම ලබමින් සිටියදී එවකට මාදම්පේ සේනානායක ජාතික පාසල් සේවය කළ ජාතික වොලිබෝල් පුහුණුකරුවකු වූ චාල්ස් තිලකරත්න මහතා අකලංකගේ දක්ෂතා ගැන දැනගෙන ඔහුව සේනානායක ජාතික පාසලට කැඳවාගෙන පැමිණ ඇත.
චාල්ස් තිලකරත්න මහතා යටතේ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රගුණ කළ අකලංක ඩී.එස්.අයි. වොලිබෝල් ක්‍රීඩා තරගවලදී දිවයින්නේ දක්ෂතම ප්‍රහාරකයා ලෙස රන් පදක්කම ද දිනා තිබේ. අකලංක සාමාන්‍ය සෙබළකු ලෙස මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ නොච්චියාගම කඳවුරේ සේවය කරන වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයෙකි. අකලංක මේ වනවිට විවාහ ගිවිස ගෙන සිටී. ඔහුගේ මනාලිය මිනුවන්ගොඩ බඩල්ගම පදිංචි අනුරාධා සඳරේඛා ය. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මීගමුව කොච්චිකඩේ ශාඛාවේ රසායනාගාරයක සේවය කරයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments