අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා බැලීමට තමාට අවස්ථාව සලසා දෙන්නැයි හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතා (ස.ජ.බ) කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) ඉල්ලීමක් කළේය.
තමා රන්ජන් රාමනායක මහතා බැලීමට අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ දී එහි නිලධාරින් තමාට ඊට ඇතුළුවීමට අවසර නොදුන් බවද වෙදආරච්චි මහතා ප්රකාශ කළේය. වෙදආරච්චි මහතා මෙසේ පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී වරප්රසාද ප්රශ්නයක් මතු කරමිනි.
තමා එම බන්ධනාගාරයට ගියේ තමාගේ පී.සී.ආර්. වාර්තාව ද අතේ තබාගෙන බව කී වෙදආරච්චි මහතා සෑම පාර්ලිමේන්තු මන්ත්රීවරයකුටම රැඳවියන් බැලීම සඳහා වරප්රසාදයක් තිබෙන බව ද ප්රකාශ කළේය. තමා එහිදී මේ සම්බන්ධයෙන් විසීමට බන්ධනාගාර ප්රධානියාට දුරකතන ඇමතුමක් ගත්තද ඔහු තමාගේ ඒ දුරකතන ඇමතුමට ප්රතිචාර නොදැක්වූ බවද මන්ත්රීවරයා කීය. පාර්ලිමේන්තුවේ සෑම මන්ත්රීවරයකුටම සතියක වරක් රන්ජන් රාමනායක මහතා බැලීමට අවස්ථාව සලසා දෙන්නැයි ද වෙදආරච්චි මහතා එහිදී කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය
0 Comments