rmv fraud

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබිය යුතු වාහනවල මුල් පිටපත්
ඇතුළත් ලිපිගොනු වාහන ජාවාරම්කරුවන් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ
අපරාධ මෙහෙයුම් ඒකකය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත. 

මෙම විමර්ශනයට අනුව මෙම “ඔර්ජිනල් ලිපිගොනුව“ මෙම ජාවාරම්කරු අතට පත්වූයේ කෙසේද යන්නත්, ඔහු
හා සම්බන්ධ වෙමින් වාහන ජාවාරම්වලට සහාය දෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
දෙපාර්තමේන්තුවේ නිලධාරියා කවුද යන්නත් සොයාගැනීම මෙම විමර්ශනවල මූලික අරමුණ වෙයි.



මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින් පසුගියදා (07දා)
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කළ පරීක්ෂා
කිරීමේදී විවිධ වාහනවලට අයත් ලිපිගොනු 40ක් වාහනවල අංක තහඩු ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන
ආකාරයේ ව්‍යාජ පැමිණිලි පිටපත් හා වාහන ලියාපදිංචි කරගැනීම සඳහා උපයෝගි කර ගන්නා ගොනු
රැසක්ද මොහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

එම ලිපිගොනු පරීක්ෂා කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු මුල් ලිපිගොනුවක්ද
සොයාගැනීමත් සමඟ මෙම පුළුල් විමර්ශනය අරඹා තිබේ. පසුව කළ වැඩිදුර විමර්ශනයේදී වාහනයක අංක
තහඩු සහ වාහන සම්බන්ධයෙන් වෙනත් ලියකියැවිලි පිළිබඳ විවිධාකාර වංචාවන්ට සම්බන්ධ මෙම පුද්ගලයා
සමඟ තවත් කිහිපදෙනකු සම්බන්ධකම් පවත්වන බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකරු විසින් ආර්.එම්.වී. ආයතනයෙන් කරගත යුතු සියලුම කාර්යයන් එම ආයතනයේ සේවය කරන
කිසිවකු සමඟ සම්බන්ධ වී කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

වාහන කුලියට ලබාදෙන ස්ථානවලට කිසිවකු විසින් වාහනයක් ලබාදුන් පසු එම වාහනය කුලී පදනම මත
ලබාගන්නා මෙම පාර්ශ්වය එම වාහනය රැගෙන ගොස් එම වාහනයේ ඔර්ජිනල් අංක තහඩුව ඉවත්කොට
එවැනිම වර්ගයේ වාහනයක අංක තහඩුවක් ඊට සවිකොට එම වාහනය වෙනත් පාර්ශ්වයකට විකිණීම සිදුකිරීම
මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකරන බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම විකිණීමට කලින් ව්‍යාජ අංකයට අදාළ ලිපිගොනුද මොවුන් විසින් සකස් කරන බව හෙළිවී තිබේ. මේ
අතර සැකකරුගෙන් අනාවරණය වී ඇත්තේ කුලී පදනම මත ලබාගන්නා සමහරක් වාහනවල නියම අංක තහඩු
තිබියදීත් ඒ ආකාරයට වෙනත් අංක තහඩුවක් සකස් කර එම වාහනය භාවිත කරන බවය. මේ අතර
අල්ලාගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙහි මොළකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු
බවයි. ඔහුට සහාය දී ඇති අනෙක් තැනැත්තා පොළොන්නරුවේ පදිංචිකරුවකු වන අතර මොවුන් අත්අඩංගුවට
ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.



සැකකරු සන්තකයේ තිබී සොයාගත් වාහනයක “ඔරිජිනල් ලිපිගොනුව“ මොහුට ලබාදී ඇත්තේ මහ මොළකරු විසින්
බවද කියයි. මෙවැනි ඔර්ජිනල් ලිපිගොනු තව කීයක් මහ මොළකරු අතට පත්වී ඇත්දැයි සෙවීමද විමර්ශනයේ
අරමුණ වී තිබේ.

මෙම ජාවාරමට ආර්.එම්.වී. ආයතනයේ සේවය කරන ඇතැමුන් සම්බන්ධ බවටද තොරතුරු ලැබී තිබේ.

මේ අතර මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වාහනවල
ලියකියැවිලි තවත් පාර්ශ්වයක් වෙත පත්කිරීමේදී ප්‍රවේශමින් කටයුතු කරන ලෙසත් වාහන බද්දට දීමේදී හා
වාහන කුලියට ලබාදෙන ස්ථානවලට වාහන ලබාදීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත්ය. මෙලෙස
නොයෙකුත් පුද්ගලයන් හා පාර්ශ්වයන්ට ලබාදෙන ලියකියැවිලිවල විස්තර ලබාගෙන ව්‍යාජ ලිපිගොනු සකස්
කිරීමට ඉඩ ඇති බව කියූ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බවද කියයි.

කීර්ති මෙන්ඩිස්