පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වී වහබ්වාදය හා අන්තවාදී ක්‍රියාවල නියැළීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විසිහතර හැවිරිදි
තරුණියකගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එවැනි අන්තවාදී පන්තිවලට සහභාගි වූ කාන්තාවන් 15 දෙනකු පිළිබඳ තොරුතුරු හෙළිකර ගැනීමට හැකිවී ඇත.
මෙම කාන්තාවන් 15 දෙනාම මෙම පුහුණු පන්තිවලට අමතරව ඕනෑම මොහොතක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා සූදානමින් සිටින බවට සහරාන් නමැත්තා ඉදිරියේ ‘බයියන්’ නමැති දිවුරුම ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.
ඉකුත් දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් මාවනැල්ල හිඟුල, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද විසිහතර හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් සහීබා නමැති තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි වී තිබේ.
ඇය ප්‍රකාශ කරන පරිදි මරාගෙන මැරීම සඳහා සූදානම් බවට දිවුරුම් දුන් තමන් ඇතුළු කාන්තාවන් 15 දෙනාගෙන් පස්දෙනකු පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුවූ සයින්දමරුදු පිපිරීමේදී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.
තවත් එවැනි කාන්තාවන් තිදෙනකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින බවත් ඔවුන් තිදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව සහීබා සමඟ මේ වනවිට කාන්තාවෝ 7 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.
මේ වනවිට ඊබ්‍රාහිම් සහීබා නමැත්තිය පාස්කු ප්‍රහාරය හා අන්තවාදී සංවිධානය ගැන තවත් වැදගත්
තොරතුරු රැසක් අනාවරණය කර ඇත. ඇගේ ප්‍රකාශය මත රිමාන්ඩ් ගතව සිටින මරාගෙන මැරෙන
ප්රහාරයන් සඳහා සූදානම්ව දිවුරුම් දුන් කාන්තාවන්ගෙන් යළි ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන ඒකකය බලාපොරොත්තු වේ.
මොහොමඩ් ඊබ්‍රාහිම් සහීබා නමැති මැය මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන
සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාමිල් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැඟණිය වේ. මීට අමතරව මොවුන්ගේ පියා වන ඉබ්රාහිම් මවුලවි නමැත්තාද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකොට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මොවුන් තිදෙනා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. පාස්කු ප්‍රහාරය හා මාවනැල්ල
ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහීබාගේ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔවුන් ප්‍රදේශයෙන් පලාගාස් තිබිණි. පසුව ගම්පොළ නගරයේ පාවහන් අලෙවිසලක සැඟව සිටි මොවුන් ඉකුත් 2019.04.28 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මොවුන් ගම්පොළ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටි බව ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබිණි. පසුව කරන ලද සෝදිසි කිරීමකදී සැකකරුවන්ගේ මාවනැල්ල දෙල්ගොඩ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේ රුපියල් 4,95,000ක මුදලක්ද සොයා ගැනිණි.
එම අවස්ථාවේ ඊබ්‍රාහිම් සහීබා නමැත්තියද අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇය ඇප මත මුදාහරින ලදී.
මේ අනුව පාස්කු ප්‍රහාරය, අන්තවාදී සංවිධානයේ පන්තිවලට පුහුණුවීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් ගණන 7කි. ඊබ්‍රාහිම් සහීබා ඇතුළුව මෙම 7 දෙනා රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කරගෙන යන අතර ඉකුත් දෙසැම්බර් මස 7 වැනිදා අත්අඩංගුවට ගත් කාන්තාවන් 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඊබ්‍රාහිම් සහීබා ගැන තොරතුරු හෙළිවීම මත ඇය නැවත අත්අඩංගුවට ගෙන තිබිණි.
2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ අතර එම විමර්ශනවලදී හෙළි වී තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් විසින් කාන්තාවන් පිරිසක්ද මෙම අන්තවාදී සංවිධානයට බඳවාගෙන පුහුණුවීම් ලබාදී ඇති බවය. ඒ ඔස්සේ විමර්ශන ඇරඹීමෙන් පසු පාස්කු ප්රහාරයසම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට පත්විය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ එම ප්‍රධාන විමර්ශනයට අමතරව සිදුකළ තවත් විමර්ශනයකදී හෙළි වූ තොරතුරු මත මෙම කාන්තාවන් අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් සහීබා හා සෙසු කාන්තාවන් 6 දෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත
යටතේ රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යනු ලබයි.
කීර්ති මෙන්ඩිස්, කොළඹ - ජයසිංහ
0 Comments