ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට (අයි. පී.එල්.) ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලද ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර එහි ප්‍රතිසංවිධාන කටයුතු අරඹා තිබේ. 

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන සහාය පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත් කරමිනි. මීට අමතරව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් එම ධුරයෙන් ඉවත් කිරීමට සංගක්කාරගේ නිර්දේශ මත කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙන අතර, මෙවර තරගාවලියට (2021 අයි.පී.එල්.) තරගාවලියට ඔවුන් තරග කරනුයේ ප්‍රධාන පුහුණුකරුවෙකු නොමැතිව වීම විශේෂත්වයකි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමු අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම වන අතර, කුමාර් සංගක්කාරගේ නිර්දේශ මත ඉදිරියේදී තවත් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමටද නියමිතය.රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල ව්‍යුහයේ තීරණ ගැනීම මෙන්ම ප්‍රතිසංවිධානය කටයුතු සිදු කිරීම කුමාර් සංගක්කාර යටතේ සිදු කිර්මට එම කණ්ඩායමේ හිමිකාරිත්වය සහ කළමනාකාරීත්වය පූර්ණ බලතල පවරා තිබේ.2019 වසරේදී ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග වසර 03ක කාලයකට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ගිවිසුම් ගතව සිටියේය.

 (සුරේෂ් දේශාන්)