sri lanka cricket

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරඟ කිරීමට හිටපු උපසභාපති කේ. මතිවානන් සහ වත්මන් සභාපති ෂම්මි සිල්වා නාමයෝජනා ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ 2021-23 කාල සීමාව සඳහා නිලධාරින් පත්කරගැනීම සඳහා වන නිලවරණයේ නාමයෝජනා භාරගැනීම ඊයේ (24දා) පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා සිදු කළ අතර,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරිණි. නාමයෝජනා විවෘත කිරීම ඊයේ පස්වරු 04.00ට සිදුවිණි.ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න හිමිද ප්‍රථම වරට උපසභාපති ධුරයකට තරඟ කිරීමට වෙනත් පාර්ශ්වයකින් නාමයෝජනා ලබාදීම සුවිශේෂිය.



සභාපති, උපසභාපති ධුර 02ක්, ලේකම්,උපලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු සඳහා මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතය. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරන ෂම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් උපසභාපති ධූර සඳහා හිටපු සභාපතිවරයෙකු සහ වත්මන් උපසභාපති ජයන්ත ධර්මදාස, වත්මන් උපසභාපති රවීන් වික්‍රමරත්න සහ ඒස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සමත්ත දොඩන්වල යන මහත්වරුන්ට තරග කිරීමට නියමිතය. එම පාර්ශවයේ ලේකම් ධූරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම්වරයා වන මොහාන් ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ධුරය සඳහා වත්මන් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාද තරඟ කිරීමට නියමිතය.මේ වනවිට රණතුංග පාර්ශ්වයෙන් ලේකම් ධුරයට හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතාද උපසභාපති තනතුර සඳහා ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව සභාපති ධුරය සඳහා මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ද නාමයෝජනා භාර දී තිබේ. නලීන් අපොන්සු සහ බන්දුල දිසානායක යන මහත්වරු ලේකම් ධූරය සඳහා මෙම උප සභාපති ධූරය සඳහාද නාමයෝජනා ලබා දී තිබේ.

උපලේකම් ධූරයට ක්‍රිශාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, ප්‍රසන්න ගුනසේකර, සුජීව ගොඩලියද්ද යන මහත්වරුද උපභාණ්ඩාගාරික ධූරයට සුජීව ගොඩලියද්ද හා ක්‍රිෂාන් සංජීව යන මහත්වරුද නාමයෝජනා ලබාදී තිබේ.පිළිගත් නාමයෝජනා සඳහා විරෝධතා ලබාදීම මාර්තු මස 05වැනිදා උදෑසන 09.30 සිට පස්වරු 03.30 දක්වාද, විරෝධතා විභාගය මාර්තු මස 08වැනිදා සිට 12 වැනිදා දක්වාද, විරෝධතාවල ප්‍රතිඵල නිවේදනය කිර්ම මාර්තු මස 15වැනිදාද, නියෝජනයන් සඳහා වන ලිපි පිළිගැනීම අප්‍රේල් මස 09වැනිදාද, නිලවරණය සඳහා වන අවසන් නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් මස 20වැනිදාද සිදු කිරීමට නියමිතය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 147ක් පවතින අතර, ඉන් නිලවරණයට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්ද 142ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021/23 කාල සීමාව සඳහා නිලධාරි මණ්ඩලය තෝරා පත් කරගන්නා විශේෂ මහා සභාව සහ නිලවරණය මෙම වසරේ මැයි මස 20 වැනිදා උදෑසන 10.30 සිට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.විශ්‍රාමික විනිසුරු මාලිනි ගුණරත්න ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවේ සභාපතිත්වය දරන අතර, විශ්‍රාමික විනිසුරු ශිරෝමි පෙරේරා සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

 (පැතුම් ශ්‍රී විජේරත්න)