suriyapura incident

විසිඑක් වැනි සියවසටද එළැඹ දියුණුවෙන් දියුණුවටම යන ලෝකයක මිනිසුන් ජීවත් වුවත් ඇතැම්හු තවමත් මිථ්‍යාදෘෂ්ටික මත පසුපසම හඹා යති. ඇතැම් දෙනා එවැනි මිථ්‍යාදෘෂ්ටික ක්‍රියාවන්ගෙන්ද අවංකවම ජනතාවට සෙතක් ශාන්තියක් සිදු කිරීමට කැපවෙද්දී තවත් පිරිසක් ගුරුකම්, යන්ත්‍ර-මන්ත්‍ර, තොවිල්-පවිල් සිදු කරනවා යැයි පවසන සිය කට්ටඬි රස්සාවෙන් නැතිනම් කපු රස්සාවෙන් සිදු කරන්නේ ම අහිංසක ජනයා මුළාවේ දැමීමකි. ඇතැම්හු පල් හොරුය. තවෙකෙක් වනචරයන් නැතිනම් මල් කැකුළු වන් ළමා ළපටින්ද දූෂණය කරන පාපතරයන්ය.



මෙකී කට්ටඬියාත් එලෙසම කාන්තාවන් කිහිපදෙනෙක්ම අමාරුවේ දමමින් බාල වයස්කාර දැරියක්ද ගැබිනියක් බවට පත්කළ ‘වල්‘ කට්ටඬියෙකි. මේ එකී කතාන්දරයයි.

ඉකුත් 2020 දෙසැම්බර් 02 වැනිදා කන්තලේ පොලිස් කොට්ඨාසයේ සූරියපුර පොලිසියට 42 හැවිරිදි මල්ලිකා පත්මකුමාරි නමැති කාන්තාවක පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

“සර්... මගේ දෙවැනි දුව ගෙදරින් ගිහින්... හොයන්න තියෙන හැමතැනකම හෙව්වා... ඉන්න තැනක් සොයාගන්න නැහැ...“

වයස අවුරුදු 15 යි මාස 10ක් වූ එම දැරිය පිළිබඳ සූරියපුර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක උපාලි ශාන්තගේ මෙහෙයවීමෙන් විමර්ශන ඇරැඹිණි. එහිදී අනාවරණය වූයේ දැරියගේ පියා පවුලේ හැලහැප්පිලි නිසාවෙන් හංවැල්ල ප්‍රදේශයේ වෙනම නිවෙසක වාසය කරන බවයි.

එම දැරිය හංවැල්ලෙ පියා වෙසෙන නිවෙසට ගොස් පසුගිය ඔක්තෝබර් පාසල් නිවාඩු සමයේ මාසයක පමණ කාලයක් විසූ බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළි වූහ. ඒ අනුව දැරියගේ පියාගෙන් සූරියපුර පොලිස් නිලධාරින් ලබාගත් ප්‍රකාශ අනුව ඇය හංවැල්ලේදී හඳුනාගත් කට්ටඬියකු සමඟ පලාගොස් ඇති බව අනාවරණය වූයේ එම කට්ටඬියා විසින් දැරියගේ පියාට දී තිබූ දුරකථන ඇමැතුමක් මඟිනි. දැරියගේ පියා පොලිසියට කීවේ,

“සර්... දුව ගෙදරින් ගියාට පස්සෙ මට කෝල් එකක් ආවා... ඒ මගේ මල්ලිගෙ ගෙදර තොවිලයක් කරන්න ආවා කට්ටඬියාගෙන්... ‘දුව මාත් එක්ක ඉන්නෙ... එයාට ගෙදර එන්න බෑ කියනවා...‘කට්ටඬියා එහෙම කිව්වා...“

ඒ අනුව බාල වයස්කාර දැරියක කට්ටඬියකු විසින් අපහරණය කිරීමක් සම්බන්ධයෙන් 2020 දෙසැම්බර් 10 වැනිදා නැවතත් සූරියපුර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණේ දැරියගේ දෙමාපියන් විසිනි.

එහිදී විමර්ශන නිලධාරිහු එකී කට්ටඬියා සතුව තිබූ දුරකථන අංක දෙකක් ඔස්සෙ විමර්ශන සිදු කරමින් ඔවුහු පලා ගොස් සිටින ඉසව්ව අනාවරණය කරගැනීමට උත්සාහ කළහ. එහිදී එක් දුරකථන අංකයකින් හෙළි වූයේ කට්ටඬියා හදාවඩාගත් කාන්තාවගේ නමින් එම දුරකථන අංකය ඇති බවයි. ඇයගෙන් විමසූ විට කියා තිබුණේ 2005 වසරෙන් පසු කට්ටඬියා එම නිවෙසට නොපැමිණි බවයි.

අනෙත් අංකය ඔස්සෙ විමර්ශන සිදු කෙරිණි. එම අංකයේ හිමිකාරිය, කට්ටඬියාගේ පෙර සිටි යක්කල පෙම්වතියකි. ඇයද පොලිසියට කියා තිබුණේ ඔහු සමඟ කිසිඳු සබඳතාවක් මේ වන විට නොමැති බවයි. ඒ කිසිදු විමර්ශනයකින් සැකකාර කට්ටඬියා සිටින ඉසව්වක් පිළිබඳව හෝඩුවාවක් නොවීය.

දින ගණනාවක් සිදුකළ විමර්ශනවලින් ප්‍රතිඵලයක් නැති හෙයින් සූරියපුර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් මාධ්‍ය කොට්ඨාසයට දැන්වූයේ සැකකරු පිළිබඳ සොයා ගැනීමේ අරමුණින් මාධ්‍යය සහාය ලබා ගැනීමටයි.

ඒ අනුව පසුගිය 06 වැනිදා දැරිය අපහරණය කළ ජාතික හැඳුනුම්පත් 820903595V අංක දරන සුබසිංහ ආරච්චිගේ ශ්‍රී නමින්ද කුමාර නමැති කට්ටඬියකු ලෙස පෙනී සිටින ස්ථිර ලිපිනයක්ද නොමැති 39 හැවිරිදි පුද්ගලයකුගේ ඡායාරූපයක්ද සමඟින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙළේය.

කට්ටඬියාගේ රුවද සහිතව ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් සැණින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සෙ සිදු විණි. එම මාධ්‍ය ප්‍රචාරයත් සමඟ කන්තලේ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයක් වන හාලිඇළ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ 38112 සාජන් ජයසිංහට හාලිඇළ පොලිස් ස්ථානයට කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි අළුගොල්ල, උඩුකොහුවිල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් තොරතුරක් ලැබුණේය.

“සර්... ප්‍රවෘත්තිවලට පෙන්නපු කට්ටඬියා වගේ කෙනෙක් ගෑනු ළමයෙක් සමඟ අපේ ළඟපාත ගෙදරක ඇවිල්ලා ඉන්නවා... දැන් මාසයක් විතර වෙනවා ඇවිල්ලා... ඔහු පසුගිය දින කීපයේම වටේම ගෙවල්වල කට්ටඬි වැඩත් කළා...“

සාජන් ජයසිංහට ලැබුණ එම තොරතුර පිළිබඳව හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. දයානන්ද ප්‍රමුඛ කණ්ඩායමක් අදාළ නිවෙස සොයා ගියේය. ඒ පසුගිය අටවැනිදා පෙරවරුවේයි. හාලිඇළ පොලිසියට කිලෝමීටර් දහයක් පමණ ඈතින් වූ අළුගොල්ල, උඩුකොහුවිල එම නිවෙස පිහිටි ප්‍රදේශය තරමක් කැලෑබද ප්‍රදේශයකි.



පොලිස් නිලධාරිහු අදාළ නිවෙසට යන විට පෙරදා රාත්‍රියේ විද්‍යුත් මාධ්‍ය ඔස්සෙ තමා පිළිබඳව ප්‍රචාරය වීම නිසාවෙන් නමින්ද කට්ටඬියා දැරියද රැගෙන රාත්‍රියේම වෙනත් නිවෙසකට පලා ගිය බව නිවැසියන්ගෙන් සැල වුහ. එම නිවෙස් හිමියන් කීවේ,

“මහත්තුරු හොයන කෙනා මීට මාසයකට විතර කලින් අවුරුදු 21ක් වන විවාහක බිරිය යැයි පවසමින් ගෑනු ළමයෙක් සමඟ මෙහෙට ආවේ... අපි හඳුනගත්තෙ මීට අවුරුදු තුන හතරකට පෙර තොවිලයක් කරන්න ඇවිත්...“

එම නිවෙසේ ගත කළ සමයේදී අවට නිවැසියන්ගේද කට්ටඬි වැඩ කරමින් ඔහු යහමින් මුදල්ද උපයාගෙන තිබූ බව පොලිසියට හෙළි විණි. එම නිවෙසෙන් පලා ගියත් ඔහුගේ යතුරුපැදියක්ද නිවෙසේ තිබී පොලිස් බාරයට ගැනිණි. පසුව ඔහු පලා ගිය නිවෙසද පොලිසියට හඳුනා ගැනීමට හැකි විණි. ඒ, ඊට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ අළුගොල්ල ප්‍රදේශයේම නිවෙසකි. රුපියල් හයදහසක කුලියකට එම නිවෙසට ගොස් තිබුණේය.

පොලිස් නිලධාරීන් අට වැනිදා දහවලේම එම නිවෙසටද ගියේය. සැකකාර කට්ටඬියා ඒ වන විට එම නිවෙසේ දැරිය සමඟ විසූහ.

හාලිඇළ පොලිසියට රැගෙන ආ දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරිණි. එහිදී අනාවරණය වූයේ අහස-පොළොව නුහුළන අපරාධයකි. ඒ, පහළොස් හැවිරිදි දැරිය සිවුමස් ගැබිනියක් බවයි. හුංගම, මුලන ප්‍රදේශයේ අයෙක් වන බාල වයස් දැරිය අපහරණය කළ සැකකාර කට්ටඬියා මීට පෙරද කාන්තාවන් තිදෙනෙක්ම ඇසුරු කළ වල් කට්ටඬියෙකි. ඒ, යක්කල, කළගෙඩිහේන සහ මින්නේරියේ කාන්තාවන් තිදෙනෙකි. ඉන් එක් කාන්තාවක් උපාධිධාරිනියකි. කට්ටඬි වැඩවලට ගොස් චාටු බස්වලින් රවටාගෙන ඇති එම කාන්තාවන් තිදෙනාගෙන් මින්නේරියේ කාන්තාව නිත්‍යානුකූලව විවාහ කරගෙන කට්ටඬියාට දාව දරුවෙක්ද සිටී. ඇගෙන් මේ වන විට දික්කසාද වී සිටින කට්ටඬියා එම දරුවාට නිසි පරිදි නඩත්තු මුදල්ද නොගෙවන බවයි.

නමින්ද කුමාර නමැති වල් කට්ටඬියාගෙන් පොලිසිය විමසූයේ අපහරණය කළ දැරිය හමුවූ ආකාරයයි.

“මං මීට මාස කීපයකට පෙර හංවැල්ල පැත්තෙ තොවිලයක් කරන්න ගියා... ඒ ළඟපාත ගෙදරකයි මෙයා හිටියේ... එදා තමයි මුලින්ම දැක්කෙ...“

එදින කට්ටඬියා විසින් වහසි බස් කියා දැරිය වසඟයට ගෙන තිබුණේය. එදින දැරියගේ අත පරීක්ෂාකොට කට්ටඬියා පවසා ඇත්තෙ දැරියට අංජනම් බැලීමේ හැකියාවක්ද තිබෙන බවයි. එසේම හැලහැප්පිලි මැද දෙපසට වී සිටින දැරියගේ මව සහ පියාද තමාගේ ශාන්තිකර්ම මඟින් එක්කිරීමටද හැකි බව කියමින් එදින කට්ටඬියා විසින් ඇයව වසඟයට ගැනීමට සමත්ව ඇති බවද පොලිසියට අනාවරණය විණි.

ඒ අනුව එදින රාත්‍රියේම මෙකී වනචර පාපතර කට්ටඬියා විසින් දැරිය සමඟ යහන්ගත වී ඇත්තේ ඇයට ශාන්ති කර්මයක් කරන බවට කියා තනිව කාමරයකට ගෙන ගොසිනි. පසුව දැරිය හංවැල්ලෙන් සූරියපුරට ගියද දුරකථන ඔස්සෙ කට්ටඬියා සමඟ සබඳතා පවත්වා තිබුණාය. දිනක් දැරියට පවසා ඇත්තෙ,

“ඔයා ගෙදරට හොරෙන් එන්න... මට ඔයාව හම්බවෙන්න ඕනෙ...“



දැරියද ඔහු කියූ සැණින් පසුගිය දෙසැම්බර් 02 වැනිදා සූරියපුර මවගේ නිවෙසෙන් පලා ගියාය. අනතුරුව කට්ටඬියා මුණ ගැසී දෙදෙනා වෛද්‍ය රසායනාගාරයකට ගොස් දැරියගේ මුත්‍රා පරීක්ෂාවක්ද කර තිබුණාය. ඉන් දැරිය ගැබිනියක් බව හෙළි වීමත් සමඟ කට්ටඬියා, දැරියද රැගෙන සිය කට්ටඬි වැඩ කිරීමට ගොස් හඳුනාගත් නිවෙස් කීපයකට යමින් පසුගිය දිනවල කල් ගත කෙරිණි. එම නිවැසියන්ට හඟවා ඇත්තෙ දැරිය 21 හැවිරිදි තමා නිත්‍යානුකූලව විවාහ කරගත් කාන්තාව බවයි. එලෙස මීට මාසයකට පෙර හාලිඇළ නිවෙසට ගිය බවද සැකකරු පාපෝච්චාරණය කෙරිණි.

මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල රෝහලට ඇතුළත්කර ඇත. සැකකාර කට්ටඬියා හාලිඇළ පොලිසිය විසින් පැමිණිල්ල සටහන් වූ සූරියපුර පොලිසියට බාර දුන්නේය. සූරියපුර පොලිසිය විසින් සැකකාර කට්ටඬියා පසුගිය 11 වැනිදා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සූරියපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි ශාන්ත සහ හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලකගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. දයානන්ද ප්‍රමුඛ සාජන්වරුන් වන 38112 ජයසිංහ, 54167 ලාල්, කොස්තාපල්වරුන් වන 40922 එදිරිසිංහ, 82996 කුමාර, කොස්තාපල්වරියන් වන 8321 ලක්මාලි සහ 7554 හර්ෂණී යන නිලධාරිහු මෙකී විමර්ශනවලට එක් වූහ.

අමිල මලවිසූරිය

suriyapura-story