uhana incident

තම සැමියා සිගරැට් සහ බිඩී බීමට තදබල ලෙස ඇබ්බැහිවී සිටින බවත් එමෙන්ම ඔහු නිතර කරාබූ පළඳින බවත් මේ නිසා තමාට ඔහුගෙන් දික්කාසාද විමට අවශ්‍ය බවත් උපාධිධාරී 25 හැවිරිදි ගුරුවරියක උහන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.  පැමිණිලිකාර උපාධිධාරි ගුරුවරිය හා ඇයගේ 29 හැවිරිදි විවාහක සැමියාද කැඳවා මෙම පැමිණිල්ල විභාග කරනු ලැබූවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  එල්.ඩි.එන්. කරුණාරත්න මහතා විසිනි. මෙම අඹු සැමි යුවලට කුඩා දරුවකුද සිටින අතර මොවුහු උහන පොලිස් වසමේ පදිංචිකරුවෝ වෙති. පැමිණිලිකාරිය උහන පොලිස්  වසමේ රජයේ පාසලක උපාධිධාරි ගුරුවරියකි.




ගුරුවරියගේ සැමියා රැකියාව වශයෙන් කුලීවැඩ කරන්නෙකු බවත් ගුරුතුමිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන මීට වසර 04 කට ඉහතදී ඔවුන් විවාහ වී ඇති බවත් පැමිණිලි විභාගයේ දී අනාවරණය වී තිබේ.  සැමියා තදබල ලෙස සිගරැට් හා බීඩි බීමට ඇබ්බැහි වී සිටින බව දැන ගත්තේ විවාහ වීමෙන් පසුව බවත්  කොතෙක් කිව්වත් ඔහු පුරුද්ද අත්  නොහරින බවත් බිරිඳ පැමිණිලි විභාගයේ දී පවසා ඇති බව කියති.  සිගරැට් හා බීඩි බීම නිසා වහනය වන දුගඳ ඉවසා ගැනීමට නොහැකිව වමනය යන අවස්ථා  පවා තිබෙන බවත් මේ නිසා සැමියා ළඟට එනවාටවත් කැමැති බවත් බිරිඳ මෙහිදී පවසා ඇති බව දැනගැනීමට ඇත.


කාලයක් තිස්සේ මෙම තත්වය නිවැරැදි කර ගැනීමට නොහැකි වූ බවත් විවාහ වූ අලුතද මේ ගැන පොලිසියට පැමිණිලිකර සැමියාට අවවාද කළත් ටික  දිනකින් ඔහු එම පුරුද්ද යළි පටන්ගන්නා බවත් බිරිඳ පොලිස් ස්ථානාධිපතිවරයාට පවසා තිබේ. 

සැමියා කරාබු පැළඳීමට පටන්ගත් අවස්ථාවේ කරාබු ඉවත් කරන ලෙස කිවත් ඔහු එම පුරුද්දද අත්හැර  නොදැමු බවත් මෙම ප්‍රශ්න නිසා තව දුරටත් සැමියා සමඟ දීග කෑමට  නොහැකි බවත් ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවත් බිරිඳ පොලිස්  ස්ථානාධිපතිවරයා ඉදිරියේ තරයේම පවසා ඇතැයිද කියති.


කරාබු දමාගෙන සිටින සැමියා  සමග ගමනක් බිමනක් යෑමටද තමා අකැමැති බවත් ඇය පවසා ඇත.  තමා මින් ඉදිරියට මෙම වැරදි  නොකරන බව පැමිණිල්ල විභාග කිරිමේදී සැමියා පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව පොලිසියේ ප්‍රකාශකයෙක් කීය. පොරොන්දුව කඩ කළහොත් බිරිඳ දික්කසාද වනු ඇති බව පොලිස්  ස්ථානාධිපතිවරයා සැමියාට පැහැදිලි කර දී සතියක් ඇතුළත  දෙදෙනාම නැවත පොලිසියට  පැමිණ තත්ත්වය දැනුම් දෙන ලෙස පැවසූ බව ද පොලිසියේ ප්‍රකාශකයා පැවසීය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-