කොවිඩ් 19 වයිරසය සඳහා එන්නත ලබාගත් කිසිවකුටත් ආසාත්මික තත්වයන් ඇතිවුණු බවට මෙතෙක් වාර්තා වී නැතැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  මහතා පැවැසීය.
එය ඉතාමත් සතුටුදායක තත්වයක් බව කී වික්‍රම මහතා, එන්නත විදගත් සමහරුන්ට ඕනෑම එන්නතක් විදීමක දී මතුවිය හැකි මඳ උණ ගතිය හා ඇඟපත වේදනාව පමණක් ඇතිවී තිබූ බව ද ප්‍රකාශ කළේය. එන්නතක් විද ගැනීමෙන් පසුව ආසාත්මිකතා ලක්ෂණ මතුවූ කිසිවකු හෝ රෝහල්ගත කර නැතැයි ද විශේෂඥවෛද්‍යවරයා පැවැසීය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් එන්නත මෙරට දී මුලින්ම ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයායි.


විජේවික්‍රම මහතාට එන්නත ලබාදීමෙන් පසුව අයි.ඩී.එච්. රෝහලේ සියලුම කාර්යය මණ්ඩලයට එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ක්‍රියා කළහ.  මේ අතර සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් 50,000ක පමණ පිරිසකට ඊයේ (31) වන විට එන්නත ලබාදී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.


-සුජීත් හේවාජුලිගේ-