valantine day party

ලබන 14 වැනිදාට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා, පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සඳහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බව ද හෙත්තෙම කීවේය. මෙම දිනය සැමරීමට ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්, ඒ සඳහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බව හෙතෙම පැවසීය.



මේ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා නොගත්තා කිසිදු සාදයකට, සම්භාෂණයකට අවසර නොමැති බවත් මහතෙම කීය. කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරයන මෙම වකවානුවේ මෙම සාද හරහා ආශ්‍රිතයන් තවත් බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවැනි නීති විරෝධී සාද සඳහා සිය හෝටල්, නිවාස,  ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින්ම  ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ප්‍රාදේශීය  පොලිස් ස්ථාන හා බුද්ධි අංශ යොදා විමර්ශන සිදුකරන  බවද ඔහු කීවේය. සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර නොමැතිව පැවැත්වෙන මෙවැනි සාද සඳහා සහභාගි නොවන ලෙසත්, එවැනි සාද සඳහා දැන දැනම සහභාගි  වී නඩුවලට පැටලෙන්න එපා යැයි තරුණයන්  තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


-ඉන්දිකා රාමනායක-