wimal sagara mahinda

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායකත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාප්පක්ෂ මහතා ඉවත් කර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බව එම පෙරමුණහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය  කළේය. 

හෙතෙම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පක්ෂය නොවන බවත්, ඒ අනුව එහි නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් විමල් වීරවංශ මහතාට නොමැති බවත්ය.

එසේම විමල් වීරවංශ මහතා සිටින්නේ  කොතනද සහ ශ්‍රී ලංකා පොදු  පෙරමුණ සිටින්නේ කොතනද යන්න  පිළිබඳ ඒ මහතාට පෙන්වාදීම පක්ෂයක් ලෙස තම යුතුකම හා වගකීම වන බවද මහලේකම්වරයා ප්‍රකාශ කළේය. ජාතික නිදහස් පෙරමුණහි නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු පෙරමුණෙහි මතය ප්‍රකාශ කිරීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් එජී පරිශ්‍රයේදී හදිසි මාධ්‍ය හමුවක් ඊයේ (08දා) කැඳවමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,


"අපේ පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක්  හෝ දේශපාලනඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ විනය පත්වාගෙන යන්න කටයුතු කළා. අපේ පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. එය සැමට අදාළයි.  ඒ වගේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාවට අවශ්‍ය ඒ විනය ගරුක රටට ආදරය කරන පක්ෂය බිහිකිරීම තමයි පක්ෂයට  නායකත්වය දුන් ගරු මහින්ද රාජපක්ෂ  මැතිතුමාගේත් මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් මූලික අභිප්‍රාය වුණේ.




මේ රටේ යුද්ධය දිනපු මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාව ආදරය කරපු නායකයා බොරු චෝදනා කරලා වැරදි විදිහට පරාජය කරලා ජනතාව නොමඟ යවලා ගෙදර යැව්වට පස්සේ එතුමා වටා එකතු වන ජනතා බලවේග සමග සිටි විවිධ කණ්ඩායම් විවිධ කාරණා කියනවා. ඒත් අපි හැමෝම දනවා ඒ බලවේගය ගොඩනැගුණේ කවුරුත් වටා නොවේ මහින්ද රාජප්පක්ෂ කියන ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් නායකත්වය මත. ඒනායකත්වය වටා ගොඩනැගුණු මහා ජනබලවේගයේ කූඨප්‍රාප්තිය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිර්මාණය වන්නේ.


අපි පක්ෂය නිර්මාණය කරන විට  මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන තත්වයක් යටතේ අපි එතුමන්ව පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරමින් තමයි මේ පක්ෂය ගොඩනැගුවේ. අපි බොහෝම කළගුණ දන්නා පක්ෂයක්.  මේ පක්ෂයට නායකත්වය දුන්නේ මේ පක්ෂයේ ශක්තිය වුණේ හදවත වුණේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතයයි. නමුත් විමල් වීරවංශ මහතා පුවත්පතකට කළ ප්‍රකාශයක් මත අපි පක්ෂයක් හැටියට යුතුකමක් හා  වගකීමක් තියෙනවා විමල් විරවංශ මහතාට පෙන්නලා දෙන්න එතුමා ඉන්නේ කොතැනද අපි ඉන්නේ කොතැනද කියලා. විමල් වීරවංශ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කර එය ගෝඨාභය  ජනාධිපතිතුමාට භාරදිය යුතුයි කියලා.


 මේ එතුමාගේ පක්ෂය නොවෙයි. එතුමාට ඒ තීරණය ගන්නත් බෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා හැටියට සලකන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව එතුමා රට වෙනුවෙන් තෝරාගත්තා. නමුත් අපේ පක්ෂ නායකත්වයට දේශපාලන වාසි සමග කුහකව කටයුතු කරන්නේ නෑ. අපි අපිට මනාප ටිකක් ලබා ගන්නවත් පටු දේශපාලනය කරන පක්ෂයක් නොවේ. ප්‍රතිපත්තිවලට අනුව අනාගතයට යහපත් රටක් බිහිකරන්නයි අපේ පක්ෂය කටයුතු කරන්නේ. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයේ නායකයා.  විමල් වීරවංශ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය පිළිබද කතා කරන්න බෑ. නායකත්වය වෙනස් කරන්න කියන්න ඔහුට සදාචාරාත්මක අයිතියක් නෑ. පක්ෂය ලෙස මේ පිළිබඳ අසතුටට පත් වෙනවා. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් නිසා ජනතාවගෙන් සමාව  ඉල්ලන්න ඕන යනුවෙන් පැවසීය.


- නිදර්ශනී වික්‍රමසිංහ-