wjm-lokubandara

පසුගිය 02 වනදා කොරෝනා ආසාදනය වූ බවට වාර්තා පළවූ හිටපු කථානායක වි. ජ. මු ලොකුබණ්ඩාර මහතාගේ රෝග තත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ (06) රාත්‍රියේ සිට මුල්ලේරියාව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කළ බව වාර්තා විය.
හැත්තෑ නමය (79) හැවිරිදි වියේ පසුවන ලොකුබන්ඩාර මහතාට මුලින්ම කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත්තේ රජයේ රෝහලකින් සිදු කළ පීසීආර් පරීක්ෂණයකදීය. ඔහුට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුලින් ඇතුළත් කරන ලද අතර
වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණි.
අනතුරුව ලොකුබණ්ඩාර මහතා අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කරන්නට සිදුව ඇත්තේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වැඩි පහසුකම් එම රෝහලේ නොපැවතීම හේතුවෙනි. මේ වන විට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තවම වැඩිදුර වාර්තා දක්වන්නට වෛද්‍යවරු ඉදිරිපත්ව නැත.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ විජමු ලොකු බණ්ඩාර මහතා දැනට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධම දේශපාලනඥයින් අතරින් කෙනෙකි.
2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ  ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර පොත් කිහිපයකම කතුවරයකු සහ ගීත රචකයෙකි.