china who

කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ
විශේෂඥයන් සිදුකළ අධ්‍යයනයේ සාක්ෂිවලට අනුව, වෛරසයේ මූලාරම්භය වූහාන් මුහුදු ආහාර වෙළෙඳ
පොළින් පිටත ස්ථානයක් බව මූලික නිගමනයකට පැමිණ තිබේ.



ප්‍රකාශයට පත් නොකළ අධ්‍යයනයන්හි මුල් දත්තවලට අනුව වූහාන් නගරයෙන් වෛරසයට මතු වන්නට පෙර
ඉන් පිටත වෛරසය සංසරණය වන්නට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන කණ්ඩායමේ චීන නායක වෛද්‍ය
ලියෑන්ග් වොනියන් ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය.

එහිදී විශේෂයෙන්ම මෙම වෛරසය වෙනත් රටකින් (බොහෝ විට ශීත කළ මාංශ ලෙස) චීනය වෙත
පැමිණියක්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයන සිදුකළ යුතුව තිබෙන බවත් මෙම විශේෂඥ කණ්ඩායමේ
ප්‍රධානී ආචාර්ය පීටර් එම්බාරෙක් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම ජනවාරි 14දා වූහාන් වෙත පැමිණි අතර, නිරෝධායනයෙන් සති
දෙකකට පසුව, එහි මුල් ආසාදන පොකුරක් හා සම්බන්ධ වූ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වැනි
ප්‍රධාන ස්ථාන මෙන්ම, වූහාන් හි වෛරස විද්‍යා ආයතනය ඇතුළු නිරීක්ෂණයන් රැසක් සිදුකරනු ලැබීය.



ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පීටර් ඩසාක් කියා සිටියේ, ඔවුන් ඉල්ලා
සිටි සියලුම ස්ථාන සහ පිරිස් වෙත ප්‍රවේශ වීමේ පූර්ණ අවසරය චීනය කිසිදු විරෝධයක් මතු නොකර
ලබාදුන් බවය.

"අප යාමට අවශ්‍ය වන්නේ කොතැනටදැයි අපෙන් විමසා සිටියා. අප අපට අවශ්‍ය ස්ථානවල
ලැයිස්තුවක් ලබා දුන්නා. ඒ වගේම අප මේ අධ්‍යයනයේදී අවශ්‍ය කරන සියලුම ප්‍රධාන ස්ථාන වෙත
පැමිණියා" ඩසාක් කියා සිටියේය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් හා එහි මානව සම්ප්‍රේෂණය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත
දැනුවත් කිරීමට ඉක්මන් නොවූ බවට මෙන්ම, වෛරසයේ මූලාරම්භය වූහාන් නගරය බවට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 15 දෙනෙකුගෙන් යුතු විද්‍යාඥයන්ගේ මෙම අධ්‍යයනයත් සමග
වසංගතයේ මූලාරම්භය සොයාගැනීම සඳහා ඔවුන්ගේ ඉදිරි අධ්‍යයනයන් තවදුරටත් ලොව පුරා පුළුල් කිරීමට
සිදුවන බව විදෙස් වාර්තා පවසයි.